නවතම පුවත්

-  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම්

 

කවුරුන් මොනවා කිව්වත් සියලු ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂාවන අයුරින් කටයුතු කරන බවත්, ජනාධිපතිතුමන්ගෙන් හා අග්‍රාමාත්‍යතුමන්ගෙන් ලැබුණු ආශිර්වාදය සහ සහයෝගය, මත ගතවූ වසර පහ තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුනොවූ විප්ලවයක් සිදුකරන්නට තමන්ට හැකි වූ බවත්  අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අරුන් ප්‍රශාන්ත් පදනමේ සභාපති එම් මාණික්කවාසගම් මැතිතුමා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලද වත්තල, හුණුපිටියේ පිහිටි අරුන් මාණික්කවාසගම් හින්දු ජාතික පාසල් පරිශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කිරීම සහ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ආරාධනයෙන්, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුකෙරුණු අතර උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

 “අධ්‍යාපන ඇමතිකම මට භාරදුන්නට පස්සෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාව ගෙන්නල කිව්වා, දෙමළ භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරන පාසල්  සම්බන්ධ ව කොළඹ ලොකු ප්‍රශ්නයක් තියෙන බව. ඒ නිසා ඒ පාසල් දියුණු කරන්න කටයුතු කරන්න කියලා, එතුමා මට කිව්වා. ඒ නිසා අපි තවත් පාසල් කීපයක් ම ආරම්භ කරන්න මේ වනවිට කටයුතු කරමින් යනවා.... යැයි සඳහන් කළේ ය.  ඉදිරියේ දී අලුතින් ගොඩනන්නේ භාෂා තුනෙන් ම අධ්‍යාපනය ලැබිය හැකි පාසල් බව ද, පසුගිය දා කුරුණෑගල ආරම්භ කළ විශ්වෝදා ජාතික පාසල ද ඒ අයුරින් ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

 

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ  අධ්‍යාපන අමාත්‍යවරයා,

තමුන්නාන්සෙලා ගිහින් බලන්න, හිතවත් අය ඇති අහල බලන්න. පාසල්වලට කොච්චර මුදල් දුන්න ද කියලා. අපි පහුගිය අවුරුදු පහ තුළ උතුරද, දකුණ ද බටහිර ද, නැගෙනහිර ද භේදයකින් තොරව . ඉතිහාසයේ පළමුවැනි වතාවට  මෙච්චර මේ ව්‍යාපෘති ගානක් එකවර ක්‍රියාත්මක වෙන්නෙ. තමුන්නාන්සෙලා ගිහින් බලන්න යාපනයට, මඩකලපුව. ඉතිහාසයේ පළවැනි වතාවට අධ්‍යාපන ක්ෂේත්‍රෙය් මේ තරම් ව්‍යාපෘති ගණනාවක් එකවර ක්‍රියාත්මක වෙන්නේ.  මුලු රට ම විශාල සංවර්ධනයක් කරා ගෙන ගිය ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. කවුරු මොනවා කිව්වත් සියලු ම ජාතීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වෙන විදියට අපි කටයුතු කරල තියෙනවා”..යැයි ද පැවසීය.

 

මෙම පාසල් පරිශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා දීමත් සමඟ ඉදිරියේ දී මෙම පාසලේ සියලු පරිපාලන කටයුතු කොළඹ, කොටහේන විවේකානන්ද ජාතික පාසලට අනුබද්ධ ව, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිදුකෙරේ. මෙම පාසල් පරිශ්‍රයට නව සිව්මහල් ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා සම්පූර්ණ මූල්‍ය පිරිවැය වෙන්කොට ඇත්තේ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසිනි.

පක්ෂ පාට හේදයකින් තොරව හැම ජාතියකට ම, හැම ආගමකට ම ඔවුන්ගේ ගරුත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කරදෙන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිරන්තරයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

බොහෝ අය නොකරන සුවිසල් ධන පරිත්‍යාගයක් රටේ පාසල් අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් සිදුකළ අරුන් මාණික්‍යවාසගම් මහතාට අධ්‍යාපන අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය ද පළ කළ අතර, මෙම කටයුත්ත ඉතා ඉක්මණින් ඉටුකිරීම වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ද ස්තුතිය පළ කළේය.   

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ජෝන් අමරතුංග මැතිතුමන්, රාජ්‍ය භාෂා, ජාතික ඒකාබද්ධතා, සමාජ ප්‍රගතිය හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්  මැතිතුමිය ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද අධ්‍යාපන ලේකම් එන් රණසිංහ, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ අවස්ථාවට එක් වූහ.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව කියමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට දුන් පිළිතුර..

  • අහිංසක මිනිස්සුන්ට ඉඩම් සින්නකර ඔප්පු ලබාදීමට විපක්ෂය එරෙහිවනවා..
    ඩී.එස්.සේනානායක මහතා ගොවිජන පද ඇති කරද්දීත් කුමන්ත්‍රණයක් කියලා පහර ගැසුවා..
  • විපක්ෂය හැම දෙයකටම විකුණන්න හදන්නේ ජාති වාදය සහ වර්ගවාදයයි ..

මෙරට අධ්‍යාපනයේ පැරණිතම විද්‍යස්ථානය වශයෙන් සැලකෙන පිරිවෙන  සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා 1980 දී එවකට අධ්‍යාපන අමාත්‍ය පදවිය හෙබැවූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙන් අධ්‍යාපන පනත සම්මත කොට ක්‍රියාත්මක කරවනු ලැබීය. ඒ අයුරින් වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වන පිරිවෙන් පනත සංශෝධනය කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය බැවින් ඒ උදෙසා 21 වැනි සියවසෙහි නව තාක්ෂණය ඔස්සේ ගිහි පැවිදි සිසුනට කඩිනමින් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව ලබා දීම මෙන්ම පිරිවෙන් ක්ෂේත්‍රය තුළ දශක හතරක් පුරා හඳුනාගත් විවිධ අවශ්‍යතා හා ඌනතා සම්පුර්ණ කිරිම හඳහා නෛතික ප්‍රතිලාභ සම්පාදනය ද පිරිවෙන් පනත සංශෝධනය කිරිමෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දි ඇත. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යාපනය පිළිබඳ ලෝක විද්වතුන් අතර පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත කිරිමද මෙහි තවත් අරමුණකි.

පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කරන ලෙස වෘත්තී සංගම්, පරිවේණාධිපතිවරුන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගම් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ අමාත්‍යවරයා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත පවරා ඇත.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට සමාන්තරව ශ්‍රී ලංකා පරිවේණාධිපති සේවය නමින් නව සේවාවක් ස්ථාපිත කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කර ඇත. පිරිවෙන් සදහාම වෙන් වූ පරිපාලන සේවයක් ආරම්භ කිරීමට ද අමාත්‍යවරයා පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දී තිබේ.

ඉතිහාසයේ පළමුවරට පිරිවෙන් අධ්‍යාපනයට සමානව සිල්මාතාවනට අවශ්‍ය පහසුකහම් සැලසීම පිණිස ආරම්භ කරන සීල මාතා අධ්‍යාපන ආයතන එකොළහ පිරිවෙන් ඒකකයෙහි ලියාපදිංචි කිරීමටත් ඒවාට පිරිවෙන් හා සමාන වරප්‍රසාද හිමිකර දීමටත් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

පාසල් සදහා මෙන් ම පිරිවෙන් සදහා ද භෞතික සම්පත් ලබා දී නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට උපදෙස් දීමේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන ගණන් වෙන්කර පසුගිය වසරේ සිට මේ දක්වා පිරිවෙන් දෙසියයකට නව ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් සපයා අවසන් බව පිරිවෙන් ඒකකය පවසයි.

පසුගිය වසර හතර හමාරක පමණ කාලය තුළ පාසලට මෙන් ම පිරිවෙන් අධ්‍යාපනය හා වෙහෙර විහාර සංවර්ධනයට රුපියල් කෝටි ගණනින් වැය කළ වෙනත් රජයක් නොමැති බවත් නිස්සරණාධ්‍යාශයෙන් ම වත්මන් රජය ඒ සහා කැප වුණේ ඇතැම් දේශපානඥයන් මෙන් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හදවතින් ම මිස වෙනත් වක්‍ර අපේක්ෂා පෙරදැරි කරගෙන නොවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ජාතින් අතර සාමය සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් 1989 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුව මෙවරත් ජපානයේ ෆුකෝකා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගීවීමට නියමිත අතර, ඔවුන් වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද [12] අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ආසියානු පැසිපික් ළමා සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් අතර ශ්‍රී ලංකාව ද මෙම සමුළුවේ ආරම්භයේ සිට ම සාමාජිකත්වය දරන අතර, මේ සඳහා සෑම වර්ෂයක ම සිසුන් සහභාගී කරවා ඇත. සමුළුවේ කොන්දේසි අනුව, අදාළ වර්ෂයේ අගෝස්තු 31 දිනට වයස අවුරුදු 10 යි මාස 7 සිට අවුරුදු 11 මාස 7 දක්වා සිසු සිසුවියන් (ගැහැනු පිරිමි සම සහභාගිත්වයෙන්) මේ සඳහා සහභාගී කරවනු ලබන අතර, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ම ප්‍රවීණතාව ලබාගන්නා ලද සිසුන් අතරින් එම සිසුන් තෝරාගැනීම සිදුකරනු ලබයි.

ජුලි 14 සිට 25 තෙක් පැවැත්වෙන මෙවර සමුළු වැඩසටහන BRIDGE Summer Camp-2019 ලෙස හඳුන්වා ඇති අතර, මෙවර ඊට සහභාගී වන ශ්‍රී ලාංකික දරුවන්ට ජපානයේ පාසල් නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමටත්, අත්දැකීම් හුවමාරු කරගැනීමේ කඳවුරු සහ ජපානයේ සත්කාරක පවුලක නතරවීමට ද අවස්ථාව සැලසේ. මෙම සමුළුවෙන් පසු අදාළ කණ්ඩායමට බ්‍රිජ් ක්ලබ් ශ්‍රී ලංකා සමාජය මෙන් ම අන්තර්ජාතික බ්‍රිජ් ක්ලබ් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවන අතර, ආසියානු පැසිෆික් ළමා සමුළුවේ සංවිධායක මණ්ඩලය විසින් මෙම සිසුන් සඳහා නවාතැන්, ප්‍රවාහන, රක්ෂණ, හා ආහාර පාන ආදී සියලු වියදම් දරනු ලැබේ.

මෙම වැඩසටහනේ මුලික අරමුණ වන්නේ, අන්තර්ජාතික මිත්‍රත්වය වර්ධනය කිරීමත්, අනෙකුත් රටවල ජනතාවගේ ජීවන රටා, සංස්කෘතීන් හා චාරිත්‍ර ආදිය පිළිබඳ අවබෝධයක් ශ්‍රී ලංකාවේ දරුවන්ට අත්විදින්නට අවස්ථාව සැලසිම සහ අර්ථාන්විත අයුරින් අන්තර්ජාතික සහයෝගීතාව වර්ධනය කිරීමටත් අවස්ථාව සැලසීමයි.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළ   අමාත්‍යවරයා ඒ බැව් ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය බී.සී. පෙරේරා වැටුප් වාර්තාවෙන් පැන නගින ලද්දක් බව පැවසූ අමාත්‍යවරයා එම විෂමතාව අනෙකුත් සේවාවන් හා ගැටෙන කරුණක් වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයට හුදකලාව කටයුතු කළ නොහැකි බවත් පැවසීය. 2015 ට සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරන ලද අතර, විදුහල්පති වැටුප පමණක් සියයට 106කින් ඉහළ නැංවූ බව ද අමාත්‍යවරයා කීවේය.

රාජ්‍ය සේවය තුළ පොදුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කර ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙන බව ද අවධාරණය කළේය. ගුරු උපදේශන සේවය සහ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය ද ඉතාමත් කෙටි කාලයක් තුළ විස‍‍ඳෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

- අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින්, රට තුළ බුදුදහම නගාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් බොහෝ දේ  සිදුකරන ලද බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පවසනවා. ඉලුක්හේන බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරාධිකාරී රත්මලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිපති බෙරුවැවේ සුගතඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය, සංඝාවාසය, පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල, විහාරමන්දිරයෙහි අභිනව කොටස ඇතුළු තවත් පූජනීය ස්ථාන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පසුගිය දා (06) අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රජයක් විදියට මේ රටේ විහාරස්ථාන දියුණු කරන්න අපි ගොඩක් වැඩකටයුතු කරගෙන යනවා. පිරිවෙන් දියුණු කරන්නත් අපි කටයුතු කරල තියෙනවා.. මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නෑ. ප්‍රථම වතාවට අපි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් ක්‍රමය ඇති කරල, අද මෙහෙනින් වහන්සේලා සිටින සියලුම පිරිවෙන්වලට ගුරුවරුන් ලබාදෙන්න, ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්න පනතක් ගෙනැල්ල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න කටයුතු කරල තියෙනවා. පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින් බුදුදහම නඟාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් අපි බොහෝ දේ සිදුකර තිබෙනවා. විශේෂයෙන් ම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පසුගිය කාලයේ අපිට පුළුවන් වුණා, රජයක් විදියට  අපි වසර සියයකට වඩා පැරණි කිසිකෙනෙකුගේ අවධානයට එතෙක් ලක්ව නොතිබුණු විහාරස්ථාන 1500ක් සංවර්ධනය කර සංරක්ෂණය කරන්න රුපියල් ලක්ෂ පහ ගානෙ දුන්නා, මට මතකයි රුවන්වැලි සෑයේ වැලි අතුරන එකේ ඉඳල, මහා විහාරයේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන්න අපි මුදල් වෙන් කළා.  ඒවගේම මට මතකයි, දීඝවාපිය ප්‍රතිසංස්කරණයට කෝටි 75ක් අපි වෙන් කළා..”යැයි ද පැවසීය.

 කවුරුන් අතරත් හොඳ හිත දිනාගෙන කටයුතු කරන, වෙනස් ඇසකින් දකින, වෙනස් ලෙස හිතන, නිර්මාණශීලී ව කටයුතු කරන විහාරාධිකාරී ආනන්ද ස්වාමීන්වහන්සේගේ කැපවීම්සහගත කාර්යභාරය අතිශයින් අගය කරන බව ද, තමන් කුඩාකල පටන් ආගිය පන්සලක් වශයෙන් එදා සහ අද මෙහි පවත්නා වෙනස හොඳින් අවබෝධ කරගත හැකි බවත්, තමන්ට ලැබෙන පිරිකර පවා යොදාගනිමින් පවත්නා අඩුපාඩු සපුරාගන්නා මෙවැනි විහාරස්ථාන කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා නගාසිටුවීමට සහාය ලබාදීමට දේශපාලන අධිකාරය නියෝජනය කරන තමා ඇතුළු සියලු දෙනා සතුව ද යුතුකමක් පවත්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.

රජයේ පාසල්වල III ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918 කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 10 වෙනිදා පවත්වන ලද විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා වූ තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම පිණිස  ජූලි මස අවසානයේ සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පති ශාඛාව කටයුතු යොදා තිබේ.

විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් 3881 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිතය.

පසුගිය පාලන සමයේ දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයන් වැඩ බලන විදුහල්පතිවරුන් වශයෙන් පත්කිරීමේ සම්ප්‍රදාය අවසන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් මත විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා  මීට පෙර විදුහල්පතිවරුන් 3901 දෙනෙකු බඳවා ගනු ලැබීය.

පසුගිය පාලන සමයේ මෙන් ම, පසුගියදා දින 52ක පැවති කෙටි පාලන කාලයේ දී සිදු වූ දේශපාලන අතපෙවීම් හා බලපෑම් වැනි අගතිගාමී ක්‍රියාවන්ගෙන් තොර විනිවිද පෙනෙන පරිපාලනයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීම අරමුණු කරගෙන අමාත්‍යවරයා ලබාදෙන උපදෙස් පරිදි සියලු බඳවාගැනීම් සිදුකෙරේ.

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි. මේ තුළින්  යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කරයි.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු දෙමව්පියන්ගේ දැනගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයදුම්පත් යොමුකිරීමට හැකිවන අයුරින්, වඩාත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත ඉතිහාසයේ පළමුවරට ක්‍රියාත්මක කර තිබේ.

ජාතික පාසල්වල 1,5 ,6 සහ 11 ශ්‍රේණි  හැර  අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ දී ගුරුවරුන් සඳහා වන මෙම වි‍ශේෂ තීරණය බලපැවැත්වේ.

-         අධ්‍යාපන අමාත්‍ය,  නීතිඥ අකිල විරාජ් කාරියවසම්

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘතිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත්,  බුදුදහම හරහා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි  බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වැනි සංවත්සර සමරුවට සමගාමී ව කෝටි හතක මූල්‍ය ආයෝජනයෙන් ඉදිකෙරෙන බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා,

 “මේ විද්‍යායතනය එදා පොල් අතු සෙවිලි කළ, ඉතා නොදියුණු මට්ටමේ පැවති ආයතනයක්. එදා පිරිවෙනෙන් ආරම්භ කරපු අධ්‍යාපනය වැලිපිල්ලෙ, ගල්ලෑල්ලෙ, බ්ලැක්බෝර්ඩ් එකේ  ඉඳල ටැබ් එක දක්වා විකාශය වෙමින් පැමිණි ගමන මෙතන ඉන්න බොහෝ වැඩිහිටි අය දකින්න ඇති.  අද අපි නොහිතන ආකාරයෙන් ලෝකය වේගයෙන් වෙනස් වෙමින් යනවා. අද දැනුම දෙගුණයකින් වෙනස් වෙන්නෙ ගතවෙන්නෙ, මාස 13ක් විතර කෙටි කාලයක්. එතරම්  වේගයෙන් බොහෝ දේ වෙනස් වන ලෝකයකයි අපි ඉන්නෙ. මේ වෙනස්වීම් සමඟ ගුණධර්ම තියෙන අපේකම තියෙන, මනුස්සකම් තියෙන අය එක්ක ලෝකෙ ඉස්සරහට යායුතුයි.  දක්ෂකම් සමඟ ලෝකයේ ඉදිරියට යන්න නම්, අලුතින් සිතා වැඩකළ යුතුයි. මොන ප්‍රශ්න තිබුණත් අපි, සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට ජීවත්වුණ රටක්. දීර්ඝ ගමනක් අපි එකට ආපු මිනිස්සු. ඒ වගේම තවදුරටත් අපි ඉස්සරහට බුද්ධිමත්ව කටයුතු කළේ නැත්නම් වැරදි පූර්වාදර්ශ සපයන්න ඉදිරියෙදි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. යැයි පැවසීය.

රටේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙනුත්, රජයක් වශයෙනුත් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියල්ල ලබාදෙන්නට උත්සාහ කරන්නේ ඒ දීර්ඝ ගමන සාමූහිකව යා යුතු නිසා බවත් සඳහන් කළ අමාත්‍යවරයා, “තවත් මාස දෙකකින් අපි ටැබ් ලක්ෂයක් දෙනවා නොමිළේ, ජාතික පාසල්වල උසස් පෙළ කරන දරුවන්ට සහ ගුරුවරුන්ට. මේ වෙනස්කම් කරද්දි , අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරද්දි සමහරු විවේචනය කරනවා. ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අපි අපේ දරුවන් පෙළ ගැස්විය යුතුයි. ගුණදහම් පිරුණ දරුවන් හදන්න බෞද්ධ දර්ශනය තුළින් අපට විශාල වගකීමක් පැවරෙනවා..”යැයි ද සඳහන් කළේ ය.

මෙතෙක් කල් සිදුවූයේ දායාක කාරකාදීන්ගේ සහයෝගයෙන් සාදන ලද ගොඩනැගිලි දේශපාලනඥයෙක් පැමිණ විවෘත කිරීම් බවත්, මෙතෙක් කිසිදු රජයකින් නොලැබුණු මෙවැනි බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලක්, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පූර්ණ සහාය ඇතිව ලබාදෙන පළමු අවස්ථාව මෙය බවත්, ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කරන බවත් මෙහි දී අදහස් දැක්වූ, විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ පරිවේණාධිපති මහාචාර්ය ලබුගම නාරද හිමියෝ පැවසූහ.

සුරක්ෂා  රක්ෂණ ප්‍රතිලාභ වේගවත් ව දරුවන්ට...

 

නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ පරමාර්ථයෙන්, දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා වත්මන් රජය විසින් නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීම මේ වනවිට වේගවත් ව ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ අනුව ඉකුත් තිස් වැනිදා (2019-06-30)  වනවිට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සංඛ්‍යාව 11740ක් වන අතර, රුපියල් 532,976,108/- ක් ප්‍රතිලාභ මුදලක් මේ වනවිට ගෙවා අවසන් ව තිබේ.

එදාමෙදාතුර ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මෙම රක්ෂණාවරණ වැඩපිළිවෙළ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.

 අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනයත් අතර  එළඹ ඇති ගිවිසුම අනුව, රක්ෂණාවරණයට රජය විසින් වැයකරන මුදලින් 75%ක ප්‍රතිලාභ ප්‍රමාණයක් පාසල් දරුවන් වෙත ගෙවීමට යම් හෙයකින් අදාළ රක්ෂණ ආයතනය අපොහොසත් වුවහොත් එතෙක් ගෙවා ඇති මුදල් ප්‍රතිශතයේ සිට 75% ක් දක්වා වන මුදල රජයට පැවරෙන බවට කොන්දේසියක් ද ඇතුළත් කර තිබෙන හෙයින් රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට ලබාදීම වෙනුවෙන් අදාළ ආයතනය දැඩි වගකීමකින් කටයුතු කිරීමට බැඳී සිටින බැවින් අලියාන්ස් රක්ෂණ සමාගම මේ වනවිටත් ඉතා කාර්යක්ෂම ව සහ සාර්ථක ව රක්ෂණ ප්‍රතිලාභ දරුවන් වෙත ලබාදීමේ ක්‍රියාවලියට එක්ව සිටියි.

අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, පාසල් 11240 ක මිලියන 4.5කට ආසන්න සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර  සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000/-ක් දක්වා ද මව්පිය වියෝවක දී එක් අයෙකුට රු 200,000/ බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස්  අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබාගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දන 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම  ඒ අතර ප්‍රමුඛ වේ.

දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම,(සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයකි.

සුරක්ෂා රක්ෂණාවණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ,  0112369369  අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. 2018 දෙසැම්බර් 01 දින සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු www.moe.gov.lk   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ 02 ලිපිනයෙන්  ද ලබාගත හැකියි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක්  (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017  වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි. මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ  සිසුන් සංඛ්‍යාව 28000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන්  තෝරාගන්නා ලදී.  

එකවර සිසුන් 8000ක් විද්‍යාපීඨ වෙත බඳවාගැනීමේ දී මතු වන, දේශන ශාලා පහසුකම් සහ යටිතල පහසුකම්, නව ගොඩනැගිලි, කථිකාචාර්යවරුන් සම්පාදනය ඇතුළු සියලු අභියෝග වෙනුවෙන් ද සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පසුබිම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ  මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

21 වැනි සියවසට ගැළපෙන නව දැනුම රටේ දරුවන්  වෙත ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, ගුරුවරුන් පුහුණු කිරීමේ දී ඒ සම්බන්ධ ව විශේෂ අවධානය යොමුකරමින් කටයුතු කරන ලෙසත්,  තාක්ෂණය සමග බද්ධ වෙමින් දැනුම යාවත්කාලීන කරගැනීමට පහසු අවස්ථා සියලු ගුරුවරුන්ටත්, සියලු දරුවන්ටත් ළඟා කරදීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යතුමන් උපදෙස් ලබාදී  තිබේ. ඒ අනුව දිගු කලක් පැවති යල්පැනගිය විෂය මාලා වෙනුවට යාවත්කාලීන වූ, නවලොවට ගැළපෙන විෂය නිර්දේශ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හඳුන්වාදීමට ද කටයුතු යොදා තිබේ. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය වසරේ සිට විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා වන දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.

 දිගුකාලයක් තිස්සේ අධ්‍යාපන පද්ධතියේ මතුව පැවති ප්‍රමාණවත් ගුරු අධ්‍යාපනඥයින් පද්ධතිය තුළ නොසිටීමේ ගැටළුව කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පූර්ණ අවධානය යොමු වූ අතර, ගුරු විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථානවල ‍ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥයින් 852ක් අධ්‍යාපන පද්ධතියට බඳවාගැනීමට ද පියවර ගන්නා ලදී.  

ඉදිරියේ දී විද්‍යාපීඨ තුන් අවුරුදු ඩිප්ලෝමාව උපාධියක් දක්වා සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති අතර, තාක්ෂණ විෂයධාරාව ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ම වෙන්වන  ජාතික තාක්ෂණ විද්‍යාපීඨයක් කුලියාපිටියේ  දි පිහිටුවීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක ව පවතී.

එමෙන් ම, විද්‍යාපීඨ 19 කින් ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව මේ වනවිට සම්පූර්ණ කර සිටින 4000කට අධික ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

අධ්‍යාපන පද්ධතිය තුළ දීර්ඝකාලීන ව නොවිසඳී පැවති ගැටළු රැසක් විසඳීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ මෑතකාලීන ව පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් බඳවාගැනීම ඒ යටතේ ගෙන ඇති සුවිශේෂ ‍පියවරකි.  

අමාත්‍යතුමන්ගේ උපදෙස් මත මේ වනවිට දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් පද්ධතියට බඳවාගෙන ඇති සමස්ත ගුරුවරුන් සංඛ්‍යාව 20,064කි. 2015 වසරේ 5866ක් ද, 2016 වසරේ  5018ක් ද, 2017 වසරේ 5162ක් ද, 2018 වසරේ 2186ක් ද  2019 වසරේ  මේ වනවිට පත්වීම් ලැබූ ගුරුවරුන් 715ක් ද ඊට ඇතුළත් වෙයි.

Search