නවතම පුවත්

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත් ‘පොහොට්ටුව පක්ෂය’ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සදහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටිය නගර සභා පිටියේ දී සමෘද්ධී ලාභීන් 2500 දෙනෙකුට සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීමේ අවස්ථාවේ දීය.

පසුගිය පළාත් පාළන ඡන්ද විමසීමේ දී කුලියාපිටිය නගර සභාවේ 50% කට වැඩියෙන් ඡන්ද ලබා ගනිමින් බලය පිහිටුවීමට හැකි වුවත් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ කවර පක්ෂයකට හෝ 50% ක ඡන්ද ලබා ගත හැකි නොවූ බැවින් පොහොට්ටු පක්ෂය බලය පිහිටුවා ගත්තේ  රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගැනීම නිසා බව සිහිපත් කර දුන් අමාත්‍යවරයා  එසේ නොවේනම් බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය බව ද පැවසුවා.

 “ ඒ මන්ත්‍රීවරු දෙන්නා අරගෙන බලය පිහිටුවන්න හොඳ වූ පොහොට්ටුව ම රිෂාඩ් බදියුදීන් මැතිතුමා වත්මන් ආණ්ඩුවේ ඇමතිකම් දරන විට දේශද්‍රෝහි ක්‍රියාවක් වෙලා.  ඒක තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යායයි.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.

   දේශපාලන බලය හා පැවැත්ම උදෙසා යටි අරමුණින් ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරයි නම් ඒවා ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද  ජනතා සුබ සෙත වෙනුවෙන් කුමක් ලබා දුන්න ද දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව නියම සුදුස්සාට ම පමණක් හිමිකර දිය යුතු බව ද අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නා.

පසුගිය වකවානුවේ සමෘද්ධි දීමනාව ඊට සුදුසු පවුල් සඳහා නොලැබුණත් අවස්ථා රාශියක් පැවති බවත් සිදුකර තිබූ එම අසාධාරණයන්ට සාධාරණය ඉටුකිරීමට වත්මන් රජයට අවස්ථාව හිමි වූ බවත් අමාත්‍යවරයා පැවසුවා.

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වනවිට පසුගිය රජයෙන් සමෘද්ධි ව්‍යාපාරය සඳහා වෙන්කොට තිබුණේ මිලියන 14 000ක් වුවත් වත්මන් ආණ්ඩුව බලයට පත්වී කෙටිකලක දී සමෘද්ධි දීමනාව වැඩි කිරීම පිණිස රුපියල් මිලියන 45000 දක්වා ප්‍රතිපාදන වෙන් කිරීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එතෙක් විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වූ සමෘද්ධි දීමනාව විශාල ප්‍රතිශතයකින් ඉහළ නංවා සමෘද්ධිලාභීන්ට සහන සැලසීමට හැකි වූ බව ද පෙන්වා දුන්නා.

මෙරට පැවති වෙනත් ආණ්ඩු මෙන් නොව සංදර්ශණවලින් තොරව සංවර්ධනය වෙනුවෙන් ම ඇප කැප වී ක්‍රියාකළ වත්මන් ආණ්ඩුව ගම්මාන දස දහසකින් ආරම්භ කර ග්‍රාමීය පෙදෙස් හි පටු මාවත දක්වා සංවර්ධනය කරන ගම්පෙරළිය ව්‍යාපෘතිය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා එමගින් ග්‍රාමීය ජනතාවට විශාල දියුණුවක් අත්පත් කරදෙන බව ද පැවසුවා.

කිසිම ජාතියක් තවත් ජාතියක් ගැරහීමට ලක් නොකර  සියලුම ජාතී හා ආගම්වලට ගරුකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතික සමගිය බිඳ දැමීම සඳහා වැරදි කරන පුද්ගලයින්ට දඩුවම් දීමට නොපැකිලව ක්‍රියාකරන බව ද විපක්ෂයෙන් කවර විවේචන එල්ල වුවත් සැමදෙනාටම සාධාරණ සංවර්ධනයක් උරුම කර දීම සඳහා තමා කැප වී ක්‍රියාකරන බව ද  සඳහන් කළා.

අනාගත මානව සම්පත් නිර්මාණය කිරීම වෙනුවෙන් සැබෑ පිටුබලයක් ලබාදෙන, ඉහළ ගුණාත්මක බවින් යුත් අධ්‍යාපන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇතුළත්,  තිරසාර නව ජාතික අධ්‍යාපන පනතක් සකස්කිරීමට දේශපාලන නායකත්වය ලබාදීමට තමන්ට හැකිවීම පිළිබඳ සතුටට පත් වන බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම් අනුව අලුතින් සකස් කරන ලද ජාතික අධ්‍යාපන පනත් කෙටුම්පත අද (20) අවසන් සංස්කරණ සහ සමාලෝචනය සඳහා එළිදක්වනු ලැබු අතර, එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී අධ්‍යාපන   අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාලෝචන රැස්වීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන කොමිසන් සභාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ආයතන නියෝජනය කරමින් අධ්‍යාපන බලධාරීන් රැසක් එක් ව සිටියා.

මේ වනතෙක් පවතින 1939 අංක 31 දරන යටත්විජිත සමයේ දී හඳුන්වා දෙන ලද අධ්‍යාපන පනත වෙනුවට නව අධ්‍යාපන පනතක් සකස් කිරීම සම්බන්ධ ව මීට දශක ගණනාවක් තිස්සේ වරින් වර බලයට පත් වූ විවිධ රජයන් යටතේ විෂය භාර  අධ්‍යාපන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ම අවධානය යොමු ව තිබුණා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ගත හැකි සුවිශේෂ සහ ඓතිහාසික තීන්දුවක් ක්‍රියාවට නංවමින්, නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලාන්තරයක් තිස්සේ මතුව තිබූ ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් ඊට ස්ථාවර විසඳුම් ද ලබාදීමේ අරමුණින් නව ජාතික අධ්‍යාපන පනත හඳුන්වා දීමට තීරණය කළ බවත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා  සඳහන් කළා.

ආණ්ඩු මාරු වුව ද, ඇමතිවරුන් මාරු වුව ද,  ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙනස් නොවන අධ්‍යාපන ක්‍රමයක් රටට මේ හරහා ලබාදිය හැකි වන බවත්, මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන, සියලු දෙනාගේ ම කාලයක් තිස්සේ පැවති බලාපොරොත්තු මල්පල දැරීමක්   බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සුදුසුකම් තිබියදී ත් සමෘද්ධි හිමිකම් නොලැබුණු ලක්ෂ 6ක ජනතාවට සමෘද්ධි හිමිකම් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ 2500කට පමණ සමෘද්ධි හිමිකම්පත් බෙදා දීම ඊයේ (23) සිදු වුණා.

ඒ,එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්

මත් ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරක ම ජුනි මස 26 වැනි දිනට යෙදී තිබෙනවා. එම දිනය තේමා කරගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ජුනි මස 23 දින සිට ජුලි 01 දින තෙක් සතිය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ කාල රාමුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සියලු පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, මද්‍යසාර හා දුම්වැටි භාවිතය  සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරිම සඳහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කාලරාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු පාසල් ප්‍රධානීන් විසින් පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව රැස් කර, අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළ යුතු බවත්, අදාළ සතිය තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ වගකීමක් වන බවත්, මේ සම්බන්ධ ව සියලු ම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ පිරිවෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ආදර්ශ පාඨයක් පාසලේ ප්‍රදර්ශනය කිරීම, පන්ති කාමර මට්ටමින් අදාළ සතිය තුළ එක් එක් දිනයන්ට අදාළ ව මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ව ආකල්පමය වෙනසක් ඇති කළ හැකි ආකාරයේ ආදර්ශ වාක්‍ය ප්‍රදර්ශනය කරවීම,  පන්ති මට්ටමින් බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම, බාහිර දේශකවරයෙකු සම්බන්ධකරගනිමින් උදෑසන පාසල් රැස්වීමේ දී දේශනයක් පැවැත්වීම, මීට අමතර ව පාසල් මට්ටමින් සුදුසු නිර්මාණාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඒ සදහා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව බලගැන්වීම ඒ අනුව සියලු පාසල් ප්‍රධානීන්ට පැවරෙනවා . 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

 

අද මේ රටේ රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සුරක්ෂා රක්ෂණාවරණය රජය විසින් නොමිලේ ලබා දෙන බවත්, ඒ යටතේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් තුන්දහසක් ඇතුලුව ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එමෙන්ම සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රජය දරන මුදලින් 75% ක් සිසුන්ට ගෙවා නොමැති නම්, ඒ දක්වා මුදල නැවත රජයට ලබා දිය යුතු බවට විශේෂ කොන්දේසියක් රක්ෂණ සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට ඇතුළත් කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ වත්මන් රජය බලයට පැමිණීමට පෙර පහළ මට්ටමක තිබුණ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප ඉහළ දැමූ බවත් ය. එමෙන්ම විදුහල්පති දීමනාව ද ඉහළ නැංවීමට හැකි වූ බව කියා සිටි අමාත්‍යවරයා පෙර කාලසීමාවට සාපේක්ෂව මේ රටේ මෙවන් සාධනීය වර්ධනයක් ඉතිහාසයේ සිදු නොවූ බව පවසා සිටියා.

සංවර්ධනය පමණක් සිදු කරන අතර සංදර්ශන නොකරන බව කියා සිටි අමාත්‍යතුමා මාධ්‍ය මර්දනය, ජනතා මර්දනය සිදු නොකරන බවත්, ඉදිරි මැතිවරණයේ දී පොදු ලකුණකින් ජයග්‍රහණය සඳහා පක්ෂය මෙහෙයවන බව වැඩිදුරටත් කියා සිටියා.

එතුමන් මෙම අදහස් පවසා සිටියේ පසුගියදා “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ පොතුහැර දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ මහව සහ කුරුණෑගල අධ්‍යාපන කලාපවල පාසල් 20 ක් සඳහා රුපියල් මිලියන 387 ක වියදමින් නවීන ගොඩනැගිලි සහ පහසුකම් සිසු අයිතියට පැවරීම  සිදු කරන ලදී.

දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට  අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා  සමත් අසමත් භාවය මිස  ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 64000ක ආයෝජනයෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වර්තමානයේ ක්‍රියාවට නැංවෙන විශාලත ම ව්‍යාපෘතියක් වන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 34ක වියදමින් කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල  සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා  එක් වෙමින්.

බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග තවමත් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බවත්, විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ඉදිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා

කුරුණෑගල මහින්ද විද්‍යාලයේ පරිපාලන ඒකකයක් සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරුණා.

මෙහි ඉදි කිරීම් සිදුකරන ලද්දේ 'ළඟම පාසල හොඳම පාසල ' ජාතික වැඩසටහන යටතේයි.

පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, පෙළපොත් හා සුරක්ෂා රක්ෂණය පිරිනමමින් නිදහස් අධ්‍යාපනය අර්ථවත් කොට තිබෙන වකවානුවක පාසල් යායුතු වයසේ දරුවන් නිවෙස් හි සිටිතියි පළවන ජන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුට ම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කොට තිබෙන්නක් බව ගම් මට්ටමේ කටයුතු කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝ  පවා දැන සිටිය යුතු සරල කරුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

දරිද්‍රතාවය හෝ වෙනත් හේතු නිසා හෝ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට නොහැකි තත්ත්වයේ පසුවන මවුපියන් වෙතොත් ඔවුන් හඳුනා ගෙන අවශ්‍ය සුදුසු පියවර ගැනීම ගම්බද සේවය කරන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් විය යුතු නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

දිළිඳු ජනතාව වෙනුවෙන් සමාජ සත්කාරක සේවා ක්‍රියාත්මක කරන විට පවා මෙවැනි අසරණ පවුල් හඳුනා ගැනීමට නිලධාරීන් ට ඕනෑ තරම් අවස්ථා තිබෙන බවත් පවසන අමාත්‍යවරයා පාසල් නොයන දරුවන් කවුරුන්දැයි සැක හැර හඳුනා ගන්නේ නම් ඒ බැව් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීම මගින් ඔවුනට සුදුසු පාසලක් ලබාදීම සඳහා කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බවත් පෙන්වා දුන්නා.

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව වෙනුවෙන් අති දැවැන්ත මුදලක් වෙන් කර “ළඟම පාසල හොඳම පාසල” වැනි ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන අවස්ථාවක, පාසල් යායුතු වියේ පසු වුවත් කිසිදා පාසල් නොගිය දරුවන් සිටින බව ජන මාධ්‍යයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වාර්තා වූ වහාම ඔවුන් පාසලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට කිසිම බාධාවක් නැති බවත්, ඒ සඳහා ඔවුනට පූර්ණ අයිතියක් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ජාතියේ දරුවන් සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව පටු අරමුණුවලින් බැහැර වී තොරතුරු වාර්තා කරමින් වගකීම ඉටු කරන සෑම ජනමාධ්‍යයකටම අමාත්‍යවරයා සිය ප්‍රශංසාව ද පිරිනමනවා.

කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බවත්, ඇතැම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් ජාතිවාදය, ආගම්වාදය සහ වර්ගවාදය වපුරමින් තමන්ට නැති වී ගිය දේශපාලන බලය ලබාගැනීමට උත්සාහ දරන බවත්, එම පිළිකුල්සහගත  තත්ත්වය හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මේ අවස්ථාවේ සියලු ජනතාව ඉතා බුද්ධිමත් ව කටයුතු කළ යුතු බවත්, රටක් වශයෙන් ඉදිරියට යාමට නම් ජාති, ආගම්, වර්ග වශයෙන් බෙදී යාම් නතර කොට සාමූහික ව කටයුතු කළ යුතු බවත්, අතීතයේ පටන් ශ්‍රී ලාංකිකයන් බෙදාහදාගෙන සමගියෙන් ජීවත් වූ  ජාතියක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළඟම පාසල හොඳම පාසල  ව්‍යාපෘතිය යටතේ පසුගිය දා රුපියල් මිලියන 23. 78ක වියදමින් කුරුණෑගල සහිරා ආදර්ශ මහා විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කුරුණෑගල බෝයගනේ මහා විද්‍යාලයට අවශ්‍ය කර තිබූ ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාරයක් ඉදි කිරීම 'ළඟම පාසල හොඳම පාසල ' ජාතික වැඩසටහන යටතේ සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිසු අයිතියට පත් කිරීම සිදු වුණා.

Search