නවතම පුවත්

 

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ ගාල්ල, කලුතර, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත්ව ඇති බවට හඳුනාගත් පුස්තකාල 18කට ලීබඩු උපකරණ හා පුස්තකාල පොත් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අමතර ව දිවයින පුරා පිහිටි පුස්තකාල අතරින්, හඳුනාගත් පාසල් පුස්තකාල 60ක් සහ පිරිවෙන් පුස්තකාල, ආරක්ෂක හමුදාව යටතේ පාලනය වන පුස්තකාල සහ විවිධ අමාත්‍යාංශ යටතේ ඇති පුස්තකාල 100කට අධික ප්‍රමාණයකට ‍පොත් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.

කියවීම පුරුද්දක් කරගත් මිනිසුන් සපිරි සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි කියවීම් ප්‍රවර්ධන ක්‍රියාමාර්ග රැසක් මෑතකාලීනව ක්‍රියාවට නංවා ඇති අතර, පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ද ලබා දී තිබෙනවා. එමෙන් ම කියවීම දිරිගැන්වීම වෙනුවෙන් පසුගියදා කලණ මිතුරු-පොත් සුමිතුරු වැඩසටහන ද පාසල් පද්ධතිය වෙත හදුන්වා දෙනු ලැබුවා.

ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා ලී බඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන ජුනි මස 13 වැනි දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබ මොහොතින් සිය රාජකාරියෙහි නිල කටයුතු ආරම්භ කළා. ඒ ඊයේ (07) උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. සර්ව ආගමික වතාවත් ද මෙහි දී සිදු කෙරුණා.

මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයන් මතින් විජයග්‍රහණයන් කරා ගෙනයාමේ අරමුණින් සංවිධානය කෙරුණු පුනරුදයට ඇරඹුම වැඩසටහන යටතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනායක් ද පැවැත්වුණා.එක්සත් ජාතික පක්ෂයේ මිය ගිය නායකයින්,පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් සහ විවිධ පරිත්‍යාගයන් සිදුකළ ජනතා නායකයින් සහ සාමාජිකයන් සිහිපත් කරමින් , සියලු පාක්ෂිකයන්ට මෙන් ම රටවැසියන්ට සෙත් පැතීම මෙහි අරමුණ වුණා.

පරිත්‍රාණ ධර්ම දේශනාව අවසන් කොට මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව පක්ෂ මහ ලේකම්වරයා සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ චාම් උත්සවය පැවැත්වුණා.

ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියක් නමක් විෂයෙහි සූදානම් කරන ලද හීල් දානය පූජා කිරීමේ පින්කමකට සහභාගී වුණා.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වූ නව මහ ලේකම්වරයා ජාතික සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් ජාතික සේවක සංගමයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙකු වු දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිදුන්ගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වූවා.

ඉන් අනතුරුව නැවත සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ පක්ෂ සාමාජිකයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

 

පසුගිය දා සමාජ පීඩනයට ලක්ව අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ ගනේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට අද (18) පියවර ගැනුණි.

ඒ සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුවයි.

අදාළ පාසල් සිසුවියට එක්තරා රෝගී තත්ත්වයක් පිළිබඳව පවසමින් අසාධාරණ ලෙස පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුණි.

එම නිසා ඇයට සිය පාසල ද අහිමි වන තත්ත්වයක් මතුව ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් වුණි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන ක්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි.

පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුනි.

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටළු ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවත්, දිවයිනේ සියලු රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අදාළ දැරියගේ පියාට ද අධ්‍යාපන සුදුසුකම් වලට අනුව සුදුසු රැකියාවක් ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

මෙහි දී අදහස් පළකළ සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම ප්‍රශංසනීය බවයි.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවත්, මෙම සිදූවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල හරහා ද්වේශ සහගත ප්‍රකාශයන් සිදුකරන පිරිස් වෙත මෙය කදිම පිළිතුරක් බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙහි දී කියා සිටියේය.

 

 

 

දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. 
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා කුරුණෑගල, හිරියාල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ දී පැවති රැස්වීමකට එක්වෙමින්. 
 
එමෙන්ම සමෘද්ධි සහනාධාරය නැවත ලබාදීමේ ක්‍රියාවලියට සමගාමීව සමෘද්ධිය ආශ්‍රිත රැකියා ලබාදීමේ කටයුත්ත ද සිදුකරීමට අපේක්ෂා කරන බව මහලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 
 
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පෙන්වා දුන්නේ, සියලු අර්බුධ, ගැටලුකාරී තත්ත්වයන් සහ සියලු බෙදීම් නිවැරදි කොට ගෙන, එක්සත්ව, එක්සිත්ව, එක් පක්ෂයක් ලෙසින් 2020 දී තනි එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ජනතා අපේක්ෂා ඉටු කිරීමේ අරමුණ සහිත මැතිවරණ සටනට දැන් පක්ෂය අවතීර්ණ වී ඇති බවයි.
 
 
එමෙන්ම, කිනම් මාධ්‍ය සංදර්ශන සහිතව කටයුතු කළ ද පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය දැන් සමාජය ඉදිරියේ නිරාවරණය වී ඇති බවත්, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවති නියෝජ්‍ය කථානායකවරයා පත් කිරීමේ ඡන්ද විමසීම් අවස්ථාවේ දී එය හොඳින් පෙනී ගිය බවත් මහලේකම්වරයා මෙහි දී පැවසුවා. 
 
පැණි  වරකා ගහටත් හෙන ගහන්නා සේ අද පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් ජනතාවට දැකගත හැකි බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.
 
 

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය 2020 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය ජය ගැනීමේ සටන අනිවාර්යයෙන්ම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද(02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

 

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ මෙම විශ්වාසභංගයට හේතුවූ බව පවසන බැඳුම්කර සිද්ධිය පිළිබඳව ද මාධ්‍ය හමුවේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කරුණු පැහැදිලි කළා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා පත් කිරීම නීත්‍යානූකූලව සිදු වූ බවත් පසුගිය කාලවකවානුව දෙස බැලූ විට සුදුසුකම් අතින් වැඩිම මහබැංකු අධිපතිවරයා පත් කර තිබුණු බවත් පරීක්‍ෂණවලින් හෙළිවූ බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

 

දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (06) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, සිය සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විවිධ අහිතකර පුරුදු සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවලට ඇබ්බැහි වීමේ අවධානමක් ඇති තරුණ සමාජයකට කියවීම ඇබ්බැහි කරවීම විප්ලවීය සංකල්පයක්ම වන බවයි.

දරුවන් තුළ කියවීම ඇබ්බැහි කරවීම යනු දැනුමෙන් සහ බුද්ධියෙන් සවිබල ගැන්වුනු අනාගත පරපුරක් රටට නිර්මාණය කිරීමක් වන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා. ඒ තුළින් රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය හැකි බවත් එය රටේ මානව සම්පත දියුණු කිරීම සඳහා ඉමහත් පිටිවහලක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේ, දරුවන් තුළ කියවීමේ රුචිය වර්ධනය කරවීමේ දැඩි අවශ්‍යතාවය මෙන්ම කියවීමේ වටිනාකම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සහ වත්මන් රජය විසින් හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි.

සීමා මායිම්වලට කොටු නොවී කියවීම ඉතා පුළුල් පරිසරයකට විහිදුවාලමින්, විවිධ වර්ගයේ පොත් කියවීම තුළ විවිධ අංශවලින් දැනුම් වර්ධනය කරගැනීමට ළමුන් පෙළඹවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා.

එමෙන්ම සියලු රජයේ පාසල්වල පුස්තකාල තව තවත් විධිමත් කරමින් ඒවායේ මානව සම්පත් තව තවත් වැඩි වර්ධනය කිරීම ද රජයේ අපේකෂාව වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

කියවන සිසුන් තව තවත් උනන්දු කරවමින් ඔවුන් අගය කිරීම තුළ රටේ මහා දැනුම් විප්ලවයක් ඇති කළ හැකි බවත් එවන් සිසු පරපුරක් නිර්මාණය කිරීම සඳහා වැය කරන මුදල රටට තවත් වියදමක් ලෙස නොව රටට තවත් වටිනා ආයෝජනයක් ලෙස සැලකිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

දිවයිනේ පාසල්වල 06 සිට 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම ‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. පදක්කම් වැඩසටහන සහ ප්‍රාසාංගික වැඩසටහන ලෙස අංශ දෙකකින් එම වැඩසටහන සමන්විතයි.

පදක්කම් වැඩසටහන යටතේ කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 50ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 50ක් කියැවූ සිසුන්) වෙත රිදී පදක්කම ද, කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 75ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 75ක් කියැවූ සිසුන්) වෙත රන් පදක්කම ද, කියවන ලද එක් එක් පොත් වෙනුවෙන් ලියන ලද කාර්ය සටහන් පත්‍රිකාවලින් 50% කට වඩා ලකුණු ලබාගත් සටහන් වාර්තා 100ක් සම්පූර්ණ කරන සිසුන් (පොත් 100ක් කියැවූ සිසුන්) වෙත ප්ලැටිනම් පදක්කම ද පිරිනැමෙනු ඇති.

ප්‍රාසාංගික වැඩසටහන පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබයි. එහි ප්‍රථම අදියර වන පාසල් මට්ටමේ දී පාසල් පුස්තාකලයේ පොත් අතරින් හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල්වල භාවිතය සඳහා අනුමත කළ පොත් අතරින් ළමුන්ගේ කැමැත්ත පරිදි සුදුසු කෘතියක් තෝරාගෙන ඊට අදාළ කාර්ය සටහන් පත්‍රිකා ගොනුව සම්පූර්ණ කර පන්තිභාර ගුරුවරයාට බාර දිය යුතුයි. දෙවන අදියරයේ දී එසේ පාසල් මට්ටමින් එවනු ලබන කියවන්නන් අතුරෙන් කලාප මට්ටම සඳහා හොඳම කියවන්න් 20 දෙනෙකු තෝරා ගැනේ. කලාප මට්ටමින් තෝරා එවනු ලබන හොඳම කියවන්නන් 20 දෙනාගෙන් පළාත් මට්ටම සඳහා හොඳම 10 දෙනා තෝරාගැනීම් මෙහි තෙවැනි අදියරයයි. සිවුවන අදියරයේ දී සිදුවන්නේ පළාත් මට්ටමේ හොඳම කියවන්නන් අතර ජාතික මට්ටමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි රූපවාහිනී වැඩසටහනක් පැවැත්වීමයි. එමෙන්ම මෙම වැඩසටහන යටතේ වසරක් පාසා තෝරාගැනෙන හොඳම කියවන්නන් 100 ක් සඳහා විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීමට ද නියමිතයි.

‘2018 – 2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් වැඩසටහට අදාළ චක්‍ර‍ලේඛය සහ උපදෙස් සංග්‍රහය පිළිගැන්වීම මෙන්ම එම වැඩසටහන යටතේ ජයග්‍රාහී සිසුන්ට පිරිනැමෙන රිදී, රන් සහ ප්ලැටිනම් පදක්කම් එළි දැක්වීම ද අද සිදුවුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින්.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් පුස්තකාල සංවර්ධන අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එච්.එන්. නන්දසිරි යන මහත්වරුන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

රාජ්‍ය තිරසාර සංවර්ධන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය සූර්ය බල ශක්තියෙන් බලගැන්වීම අද (24) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු‍ පරිශ්‍රයේ දී සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

කිලෝවොට් 250ක ධාරිතාවක බලශක්තියකින් යුත් මෙම බල ශක්ති ව්‍යාපෘතිය මේ වනවිට රාජ්‍ය ආයතනයක ඉදිකර ඇති විශාලතම සූර්ය පැනල පද්ධතිය ලෙස දැක්විය හැකියි.  මෙම සූර්ය බල ජාල පද්ධතිය මගින් මෙගාවොට් පැය 30ක බල ශක්තියක් ජාතික විදුලි ජාලය වෙත මාසිකව නිකුත් කිරීමට අපේක්ෂිතයි.

රුපියල් මිලියන අට ඉක්ම වූ වටිනාකමකින් යුත් විදුලි බල ශක්ති ප්‍රමාණයක් වාර්ෂික ව නිපදවන මෙම සූර්ය පැනල පද්ධතිය පිහිටුවීම හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ විභාග දෙපාර්තමේන්තුවේ මාසික විදුලි වියදම රුපියල් ලක්ෂ 7කින් පමණ අඩුකරගත හැකි බවට අපේක්ෂා කරනවා. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බල ශක්ති භාවිතය තුළින් දේශීය ආර්ථිකයට සිදුවන මෙම විනිමය ඉතිරියට අමතර ව සුවිශේෂ පාරිසරික ප්‍රතිලාභයක් ද මෙමඟින් සැලසෙන බව පරිසරවේදීන් සඳහන් කරනවා. වාර්ෂික ව මෙට්රික් ටොන් දෙසීයක පමණ අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එක්වීම මෙම සූර්ය බල ජාල පද්ධතිය පිහිටුවීම නිසා වැළකී යන බවත්, එය විශාල වෘක්ෂ පන්සියයක පරිසර කාර්යභාරයට සමාන කළ හැකි බවත් පරිසරවේදීන්ගේ අදහසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇති වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ද සහාය ඇති ඉහළතම තාක්ෂණ ක්‍රමවේද යොදාගනිමින් මෙම ජාල පද්ධතිය ස්ථාපනය කර තිබෙනවා

 

 

පසුගිය කාලයේ කරන ලද වංචාවන් දුෂණයන් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම වළක්වා ලීම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන බව පවසන විශ්වාස භංග යෝජනාව ගෙන ඒමේ අරමුණ වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පව් සෝදා ගැනීම සඳහා මෙම විශ්වාසභංග යෝජනාව තුළින් උත්සහ දරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් ඒ සඳහා සහයෝගය ලබා නොදෙන බව සඳහන් කරන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එවැනි මොළය අබලන් වූවන් පක්ෂයේ සිටින බව තමන් නොසිතන බවයි කියා සිටියේ.

 

පක්ෂයට මෙන්ම රටට ආදරය කරන අය මෙන්ම හොරු අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමට කැමති අය මේ සඳහා සහාය නොදෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙම විශ්වාසභංග යෝජනාව පරාජය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

 

පසුගිය සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටෙද්දී මුණිවත රකිමින් සිටි ඇතැම් වෘත්තීය සමිති අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

සුපිරි පාසැල් වෙනුවට සියලු පාසැල් සපිරි පාසැල් බවට පත් කිරීමේ අරමුණ ඇතිව අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක ළඟම පාසැල හොඳම පාසැල වැඩසටහන යටතේ බළපිටිය රේවත ජාතික පාසැලේ ඉදි කෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ජාතික පාසැල්වලට විදුහල්පතිවරුන්ගේ හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සමිති කරනු ලබන ප්‍රකාශයන් පාසැල් ප්‍රජාව සහ ජනතාව නොමග යවන ප්‍රකාශයන් බවයි.

මේ වන විට ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රේණිධාරීන් විදුහල්පතිවරුන් රාජකාරි ආවරණය කරන බවත් ඉදිරියේදී පුරප්පාඩු සහිත විදුහල්පති තනතුරු ගැසට් කරමින් පාසැල්වල විනය සහ ප්‍රථිපල ඉහළ නැංවීමට කටයුතු කළ සහ අධ්‍යාපන සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් ජ්‍යෙෂ්ඨත්වයට ද මුල් තැන ලබා දෙමින් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පිළිගත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළා.

 

කෙසේ උවද උප ගුරුවරුන් 4000කට අධික ප්‍රමාණයක් දේශපාලන හිතවත්කම් මත වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පාසැල්වලට පත් කළ විට අදාල වෘත්තීය සමිති කුමක් සිදු කළේද යන්න පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්ණ කළා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදු වූ බොහෝ අක්‍රමිකතා හමුවේ මුනිවත ආරක්ෂා කළ ඇතැම් කණ්ඩායම් අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

 

සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවසුවා.

ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියට බඳවාගැනීම සඳහා පැවති විවෘත තරග විභාගයෙන් සමත් වූ 24 දෙනෙකුට පත්වීම් ලිපි සහ සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ නිලධාරීන් 263 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

රැස්ව සිටි විදුහල්පතිවරුන්ට තම ගැටළු හෝ අදහස් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා අවස්ථාව ලබා දුන් අතර එහිදී පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇදුම් ලබාගැනීම සදහා වවුචර් ක්‍රමය හදුන්වාදීම විදුහල්පතිවරුන්ගේ අගය කිරීමට ලක් වුණා. ඉදිරියේ දී සිසුන්ට ලබාදෙන නිල ඇදුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම්වරයා සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක් ව සිටියා.

 

 

තාක්ෂණ සංවර්ධනය පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව වසර 15ක් පමණ පසුපසින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වෙනුවෙන් සම්පාදිත ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධන පොත් කට්ටලය සහ සංයුක්ත තැටි එළිදැක්වීම සඳහා අද (15) මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

ප්‍රාථමික පාසල් අධ්‍යාපනයේ පළමු ප්‍රධාන අවධිය වන 1 සහ 2 ශ්‍රේණිවල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කථාකිරීමේ සහ සවන්දීමේ කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පොත් කට්ටලයක් සහ සංයුක්ත තැටි 3ක් සම්පාදනය කොට තිබෙනවා.

 

1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයේ දී හඳුන්වාදුන්, ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරී‍ම සදහා මෙතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී තිබුණේ නැහැ.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සදහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කොට තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලක ම 2018 වසරේ සිට 1 සහ 02 ශ්‍රේණි සදහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සැලසීමට නියමිතයි.

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක්, සහ ගුරුවරුන් සදහා වන ගුරු අත්‍ පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් වනවා. මෙම පොත් සහ සංයුක්ත තැටි භාවිතය සම්බන්ධ ව ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් මගින් ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙන අතර, මීට අමතර ව දකුණු ආසියානු කලාපීය ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සදහා අභිනවයෙන් ගොඩනැගෙන නේවාසිකාගාරයට මුල්ගල තැබීම ද අද අධ්‍යාපන අමාත්‍යවරයා‍ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

 

 

Search