නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (08)පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය ගනු ලබන ඉතා වැදගත් තීරණ පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනුයි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ විදුහල්පති පුරප්පාඩු සඳහා යොමු කරන ලද අයවලුන්ට අදාළ රාජකාරි ලබා දී නොමැති බව සහ ඇතැම් අවස්ථාවල දුෂ්කර සේවා ස්ථාන සඳහා යොමු කර ඇති බවයි.

එහෙත් උප ගුරුවරුන්ව පළාත් සභා විසින් විදුහල්පතිවරු ලෙස වැඩ බැලීමට පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඇතැම් අවස්ථාවල ආර්ථික උපාධියක් ගත් ගුරුවරුන්ව සිංහල වැනි වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙන්වා දුන්නේ පළාත් සභාවල දේශපාලන බලවතුන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බවයි .

කථානායක කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

ජනතාව වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යුතුකම් සහ වගකීම් ඉටු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සීමිත තරග විභාගයෙන් සුදුසුකම් ලැබූ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අද (28) සඳහන් කළේ තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටිය හොත් නව යුගයකට අධ්‍යාපනය ගෙන යාම සඳහා සිසුනට ටැබ් පරිගණක ලබා දෙන බවයි.

අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවයේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණිය සඳහා එකසිය හතර දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කරනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.​

<p

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබෙනවා. දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර පවතිනවා.

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු විධිමත් කරමින් පුරාවිද්‍යා ගවේශන හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් හා විශේෂඥ සහාය ලබාදීමට පියවර ගත් අතර විශේෂයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදාගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් ගිලී ගිය නෞකා සම්බන්ධ ව අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

මුහුදු පුරා විද්‍යා උරුමයන් රැසක් පවතින දකුණු මුහුදු තීරය මෙරට සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දී අතිශයින් වැදගත්වන අතර එහි පවතින ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද මෙම කලාපය පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.

මෙහි සිදු කළ ගවේශනයේ දී 1871 වර්ෂයේ දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාවේ ශේෂ වූ කොටස් ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී සොයාගෙන තිබෙනවා.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වෙනවා.

 

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ද මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් මේ වන විට සිදුකරමින් පවතිනවා.

මීට අමතරව මෙම ගවේෂණ වැඩසටහන යටතේ උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට අපේක්ෂිතයි.

මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගය ද මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද මීට සමගාමීව බිහි කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

 

 
 
 
පාසල් දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලින් ඔවුන් මුදාගනිමින් නිරෝගී පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීම වෙනුවෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ රැස්වීමකට එක්වුනා.
 
පාසල් දරුවන් අතර පවතින පෝෂණ ගැටලු, මත් උවදුර සහ බෝ නොවන රෝග තත්ත්වයන් සහ මෙරට ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් අතර පවත්නා තැලසීමියා රෝගී තත්ත්වයෙන් ඇතිවන බලපෑම්වලින් පාසල් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.
 
පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම සඳහා පාසල් ආපනශාලා සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත් සීනි අධික ආහාර සහ පාන වර්ග මෙන්ම දරුවන් අතර ස්ථුලභාවය ඇතිවීම සඳහා බලපාන ආහාර භාවිතයෙන් ද දරුවන් ඈත් කිරීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව  මෙහිදී අවධානය යොමු වුනා.
 
මීට අමතරව පාසල් විෂය මාලාවේ දැනට ඇතුළත්ව ඇති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයන විෂයට අදාළව සෞඛ්‍යය ආරක්ෂණය හා සම්බන්ධයෙන් ඇති විෂය කරුණු අනිවාර්යයෙන්ම දරුවන් සඳහා ඉගැන්වමේ වැඩසටහනක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා වුණා. පාසල් දරුවන් ගොදුරුවන බෝ නොවන රෝගවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක එන්නත් සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වූ අතර තවදුරටත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ඒකාබද්ධව දියත් කිරීමට මෙහිදී එකඟතාවය පළවුනා. 
 
එමෙන්ම තැලසීමියා රෝගයෙන් රටේ අනාගත පරපුර මුදා ගැනීම උදෙසා, ඒ පිළිබඳව පාසල් මට්ටමින් දීපව්‍යාප්ත සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වුණා. ඒ අනුව තැලසීමියා රෝගයට අදාළ රුධිර පරීක්ෂණ පාසල්විය තුළදීම සිදුකිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.
 
 මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ අමාත්‍යාංශ දෙකෙහිම නිලධාරීන් එකාබද්ධව විශේෂ කමිටුවක් හරහා ඉදිරි වැඩකටයුතු ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙසයි.
 
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස, අධ්‍යාපන අමාත්‍යවරයා සමග එක්ව දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට එම වැඩසටහනට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙහිදී සඳහන් කළා.
 
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
 
 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සියලු බෞද්ධයන්ට සිදු වූ සුවිශාල පාඩුවක් මෙන් ම බලවත් සංවේගය දනවන්නකි. ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විවිධ කාල වකවානුවල මෙරට පැවති සමාජ අර්බුද විසඳීමට නොපසුබටව, අපක්ෂපාතීව, අභීතව, මැදිහත් වෙමින් අතීත ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය මෑතකාලීනව හඳුනාගෙන ඒ සඳහා සක්‍රීයව කටයුතු කළ භික්ෂූන් වහන්සේ අතර සිටි අති ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමක් බව අවිවාදිත ය.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරමින් තවත් වසර දහස් ගණනාවක් බුදු සසුන සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සඟ පිරිසක් නිර්මාණය කිරීමේ කාර්යභාරය වෙනුවෙන් තුන් සියයකට අධික ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සංඛ්‍යාවකට උන් වහන්සේ ගුරුවරයාණන් වූ හ. නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා සංඝ මූලස්ථානය ඉදිකිරීමට මූලිකත්වය ගත් උන් වහන්සේ මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට අනුපමේය සේවාවක් ඉටුකරන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන, පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන, නාරම්මල සීලවතී පිරිවෙන ඇතුළු පිරිවෙන් විහාරස්ථාන තිහකට පමණ අනුශාසකත්වය ද ලබා දුන් හ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීමට මෙන් ම සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට සැබෑ බෞද්ධ ප්‍රතිපදාව අනුව කටයුතු කළ උන්වහන්සේ ඉතාමත් සුහදශීලිව අප ඇසුරු කරමින් රට, ජාතිය හා ආගමේ අභිවෘද්ධිය පිණිස නිතර අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය නිරන්තර ලබා දුන් සංඝ පීතෘවරයකු විය.

සිල්වත්ව, ගුණවත්ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සම්බුද්ධ ශාසනය බබළවමින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සුවපත් කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම ගමට, රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම සිදු වූ පාඩුවක් බව නැවතත් සිහිපත් කරමින් උන් වහන්සේගේ අපවත්වීම ‍පිළිබඳ මාගේ සාතිශය සංවේගය පළ කරන අතර අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන‍් සුව ලැබේවා යි පතමි.

 

 

අකිල විරාජ් කාරියවසම්,

අධ්‍යාපන අමාත්‍ය,

ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති.

අතීත උරුමයන් අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහාත් පුරාවිද්‍යා කැණීම් හා සංරක්ෂණ කටයුතු ජාත්‍යන්තර නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එම උපදෙස් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීමට පියවර රාශියක් ගෙන ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කරනවා.

ඒ අනුව සිදු කළ විමර්ශන වලදී පසුගිය සමයේ පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාගෙන පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කළ ඇතැම් පිරිස් අදාළ වාර්තා සහ පුරාවස්තු නියමිත පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දී නැති බවපුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා. මෙම වටපිටාව මත පුරාවිද්‍යා කැණීම් සම්බන්ධව පැවතිය යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්ණායක නොමැතිවීමෙන් ජාත්‍යන්තර පිළිගැනීම පවා මෙරට පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලට අහිමී වී යාමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කළා.

පුරාවිද්‍යා කැණිම් කටයුතු සිදුකරන කණ්ඩායම් තම කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කැණීම් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වන අතර එසේ බලපත්‍ර ලබාදීමේ කොන්දේසි අනුව බලපත්‍රලාභීන් විසින් මූලික කැණීම් වාර්තාව ((Preliminary Report), අන්තර්කාලීන කැණීම් වාර්තා ((Interim Report), කැණිම් තුළින් හමුවන පුරාවස්තු හා අවසාන කැණිම් වාර්තාව (Final Report) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත නියමිත අදියරයන් හිදී ලබාදීමට බැඳී සිටිනවා.

ඒ අනුව පුරාවිද්‍යා කැණීම්වලට අදාළව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් කැණීම් වාර්තා සහ පුරාවස්තු ලබා නොදුන් පහළොස් දෙනෙකු වෙත පුරාවස්තු සහ අදාළ වාර්තා වහා ලබා දෙන දැනුම් දී තිබෙනවා. ලබා නොදුන් සෙසු පිරිස් වෙත ද පුරාවස්තු සහ අදාළ වාර්තා වහා ලබා දීමට පියවර ගන්නා ලෙස ලිපි මගින් දැන්වීමට කටයුතු කරන බව සඳහන් කළ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පුරා වස්තු සහ කැණීම් වාර්තා නිසි පරිදි ලබා නොදෙන පිරිස් වෙත මින් ඉදිරියට පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාදීම අත්හිටුවන බව ද සඳහන් කළා.

පසුගිය කාල වකවානුවේ දී කැණීම්වලින් හමු වූ පුරාවස්තු නිසි පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර නොදීම සහ පසුගිය සමයේ නිසි වගවිභාගයකින් තොරව පුරාවිද්‍යාඥයින් නොවන පිරිස් වෙත කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවට කරුණු වාර්තා වී ඇති හෙයින් පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇත්දැයි සොයාබැලීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

 

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ගේ හිඟයක් පසුගිය වසර දෙක තුන තුළ පැවතුන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අදාළ පුරප්පාඩු පිරවීම සඳහා පත් කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් සෑහීමකට පත් විය හැකි විදුහල්පතිවරු නොමැති බව දැනුම් දුන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් බඳවා ගැනීම් සඳහා අදාළ ගැසට් නිවේදනය ඉක්මනින්ම නිකුත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

 

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රුපියල් මිලියන 27ක මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර තිබෙනවා.

 

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන්, අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනට ලැබී ඇති නවත ම සංඛ්‍යාත්මක දත්ත අනුව 2018 මාර්තු 05 වැනි දින වනවිට එම ප්‍රතිලාභ සිසුන් වෙත මුදාහැර අවසන්.

 

එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට පෙබරවාරි දක්වා ගෙවී ගිය මාස 05 ඇතුළත රක්ෂණ ගෙවීම් සදහා ඉල්ලීම් 6600 ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලැබී ඇති බව ද එම තොරතුරු මගින් අනාවරණය වී තිබෙනවා.

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන මගින් පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂික ව රුපියල් 10,000 ක් දක්වා ද, රෝහල්ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විට දී රුපියල් 75,000 ක වන්දි මුදලක් ද ලබා දෙනු ලබනවා.

 

එමෙන් ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයක දී රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වනවා.

 

සම්පූර්ණයෙන් ම නොමිලේ දරුවන්ට ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් බිලියන 5කට ආසන්නයි.

විද්‍යාත්මක පදනමක් මත විෂය ඇගයීම් සිදු කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව උසස් මට්ටමේ චින්තන හැකියා ලබා දෙන ජ්‍යාමිතිය සම්බන්ධව ගණිත ගුරුවරුන්ගේ සහ විෂය හදාරන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා ජ්‍යාමිතිය පිළිබඳ කතිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අධ්‍යාපන ශාඛාව විසින් ඊයේ (14) දවස පුරා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වනු ලැබුවා.

 

සිසුන් තුළ උසස් මට්ටමේ චින්තන හැකියා වන තර්කානුකූල සිතීම, විද්‍යාත්මකව දැකීම මෙන් ම ගැටළු විසඳීමේ කුසලතා සංවර්ධනය කිරීමට ගණිත විෂය තුළ අන්තර්ගත ජ්‍යාමිතිය ඉවහල් වනවා. නමුත් පසුගිය වසර කිහිපයක සිට අ.පො.ස. (සා.පෙළ) ගණිතය විෂය ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ආශ්‍රිත ප්‍රශ්න පිළිතුරු සැපයීම සඳහා සිසුන් විසින් තෝරාගැනීම ඉතා අඩු මට්ටමක පැවති බවත් ඔවුන් සපයා තිබූ පිළිතුරු ද අපේක්ෂිත මට්ටමක නොතිබූ බවත් විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ඇගයීම් වාර්තා අනුව හඳුනාගෙන තිබෙනවා.

 

ජ්‍යාමිතිය පිළිබඳ අතීත, වර්තමාන හා අනාගත දිශානතීන් හඳුනාගැනීම අරමුණු කර ගනිමින් පැවති මෙම කතිකාවතේ දී ඉස්මතු වූ අදහස් සහ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අධ්‍යාපනය පිළිබඳ විද්වත් කමිටුවට යොමු කර ගණිත අධ්‍යාපන සංවර්ධනය සඳහා ඒවා යොදාගැනීමට නියමිතයි.

මෙරට ගණිත අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල සේවයක් සිදු කළ මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු වුණා.

 

එක්සත් ජාතික පක්ෂය යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සමත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

ඊයේ (07) ගල්පොල දී පැවති ජනහමුවක දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගැටුම්වලින් තොර මැතිවරණයක් මෙවර පැවැත්වීමට හැකියාව ලැබුණේ එනිසා බවයි.

කොතරම් මඩ ප්‍රහාර එල්ල වුවද තම පක්ෂය ඉදිරි සංවර්ධන වැඩසටහන් නවතා නොදමන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.

Search