එමෙන්ම විදේශ සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා පුරා වස්තු ආඥාපනත, මධ්‍යම සංස්කෘතික අරමුදල් පනත සහ විහාර දේවාලගම් පනත ප්‍රකාරව පැවරී ඇති නෛතික බලතල අනුව එම වගකීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කරන ලදී. එමෙන්ම පුරා විද්‍යා උපදේශක මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණ පිළිබඳව දඹුලු විහාර පාර්ශවය දැනුවත් කිරීම සහ පුරා විද්‍යා උපදේශක මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ සමග අදාළ තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමේ කටයුත්ත හැකි ඉක්මනින් සම්බන්ධීකරණය කිරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතාට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඊයේ (10) උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව නුදුරු දිනක දී පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ සාමාජිකයින් සහ දඹුලු විහාර පාර්ශවයේ ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡා කොට පවත්නා නෛතික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්රමුඛ අවශ්‍යතාවන් පිළිබඳව ද අවධානය යොමු කරමින් පුරාවිද්‍යා උපදේශන මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම කිරීම පිළිබඳව අවසන්එකඟතාවට එළඹෙනු ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරන්නේ රංගිරි දඹුලු විහාර සම්බන්ධව ගනු ලබන තීන්දු තීරණ නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව සිදුකරන බවයි. එමෙන්ම මෙරට බෞද්ධ ජනතාව සතු සුවිශේෂී ලෝක උරුමයක් වන රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය සංරක්ෂණය කිරීම සඳහා උපරිම ශක්ති ප්‍රමාණයෙන් රජය කටයුතු කිරීම සද්භාවයෙන් යුතුව බෞද්ධ උරුමය සුරකින කිසිවෙකුගේ හෝ දෝෂාදර්ශනයට ලක්විය නොහැක්කක් බවත්, මෙම සද්කාර්යයට දායකවීම සියලු දෙනාගේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. දඹුලු විහාර පාර්ශවය ඇතුළු මෙරට සියලුම මහා සංඝරත්නය මේ සංරක්ෂණ කටයුත්ත සඳහා ආශිර්වාද කරනු ඇති බවද සිහිපත් කළ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එය ජාතික වගකීමක් බවද සඳහන් කළා. ඒ මේ පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරයි.
අමාත්‍ය වරයා ලෙස තමා මේ සා විශාල කැපකිරීමක් සිදුකරමින් දේශපාලනික වශයෙන්ද අපහාස උපහාස විඳ දරා ගනිමින් විනාශමුඛයට පාත්‍ර වී ඇති රංගිරි දඹුලු ලෙන් විහාරය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින මොහොතක ඇතැම් පාර්ශව තම පුද්ගලික අභිලාෂයන්ට ප්‍රමුඛතාව දෙමින් සංරක්ෂණ කටයුතු වලට බාධා කිරීම ජාතියේ අවාසනාවක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.