නවතම පුවත්

           සංදර්ශනවලින් තොරව සිදුකරන ලද වැඩපිළිවෙල මීටත් වඩා යෝධ සංවර්ධනයක් කරා ගෙනයාමට ශක්තිය ලබා දීම සඳහා හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා කුලියාපිටිය කොට්ඨාශයේ පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.

          රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකක් ඉතිරිව තිබිය දි 2015 දී ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ආර්ථිකය බිඳ වැටීම, ජාත්‍යන්තරය හමුවේ කොන් වී සිටීම වැනි  කරුණු හේතුවෙන් බවත් ඒ වනවිට පැවැති සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම මෙන් ම ඉහ වහා ගිය දූෂණය හා හොරකම වැනි දේ නිසා ජනතාවට ද වෙනසක අවශ්‍යතාව තදින්ම පැවැති බවත් මහලේකම්වරයා පැවසීය.

           2015 ජනපතිවරණයෙන් පත්කර ගන්නා ලද ජනාධිපතිවරයා නිර්පාක්ෂික වේයැයි කල්පනා කළ නමුත් එසේ නොවූ බවත්, බාධා හා අමාරුකම් මධ්‍යයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන ලද බවත්,රටට වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර කටයුතු කරගෙන යන විට එය නැවැත්වීමට ක්‍රියා කළ අයත් කැබිනට් මණ්ඩලයේ සිටි බවත් සිහිපත් කළ මහලේකම්වරයා එවැනි බාධා හා දුෂ්කරතා හමුවේ ක්‍රියාකරන විට දී දින 52ක අර්බුදයකට ඇද දැමූ බව ද එය නිරාකරණය කරගැනිමෙන් පසු ඉකුත් හය මාසයේ දී වේගයෙන් වැඩකිරීමට හැකි වූ බව ද ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා මෙසේ ද පැවසීය.

         “ කුමන බාධා ආවත් අපට කළ හැකි උපරිම වේගයෙන් විශාල වැඩකොටසක් ඉටුකර තිබෙනවා. රාජ්‍ය සේවය වැටුප 107% කින් වැඩිකළා. මීට අවුරුදු පහකට පෙර තිබූ බඩු මිලට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සංසන්දනය කර බලන්න. කිරිපිටි, පරිප්පු, සීනි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල  මිල  වගේ ම ඩීසල්, පෙට්‍රල්, ගැස් මිල ද 2015 දි අපේ ආණ්ඩුව එන්න පෙර තිබූ මිලට වඩා තවමත් අඩු බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

“අපට ඇතැම් මාධ්‍යවල මෙතරම් පහර දෙන්නේ ඇයි? ඒ අප ඇති කරන ලද නිදහස නිසයි. ඇතැම් පෞද්ගලික මාධ්‍යවල දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට ලබාදෙන වෙලාව කොපමණද? සජිත් ප්‍රේමදාස මහත්මයාට හා රාජපක්ෂ මහත්මයාට දෙන වෙලාව බලන්න. ගෝඨාභයට එක වෙලාවක්. මහින්ද රාජපක්ෂ මහත්මයාට තවත් වෙලාවක්. හැබැයි ඔහු අපේක්ෂකයෙක් නොවේ. පෞද්ගලික මාධ්‍යයට තමන්ගේ වෙනම පෞද්ගලික න්‍යාය පත්‍ර තිබෙනවා. ඔවුන් එහෙම කරන්නේ අප ලබා දුන් නිදහස නිසයි. ඇත්තෙන් ම රාජපක්ෂ යුගයේ එහෙම කළා නම් ජිවිත ගැන පවා ප්‍රශ්නයක් වීමට තිබුණා.

            අධ්‍යාපන අමාත්‍යාංශය පමණක් කරන ලද වැඩ අතිවිශාලයි. මගේ ම සංකල්පයක් වූ ළඟම පාසල- හොඳම පාසල වැඩසටහන මගින් රටපුරා පාසල් 10,000න් පාසල් 9,500 කට වඩා ප්‍රතිලාභ දුන්නා. නව ගොඩනැගිලි 3,000ක් පමණ ලබා දුන්නා. වැසිකිළි  ඒකක 40,000ක් නිම කළා. මේ විදිහට විවෘත කර අවසන් කළ නොහැකි තරමට පාසල්වල ඉදිකිරිම් සිදුකළා. පාසල් දරුවන් හතළිස් පන් ලක්ෂයක් සුරක්ෂා රක්ෂණය මගින් රක්ෂණය කළා. රක්ෂණය වු එම දරුවෙකුගේ මව හෝ පියාගේ ස්වාභාවික මරණයක දී පවා රුපියල් දෙලක්ෂයක් ලබා දෙනවා. ගුරු විදුහල්පති වැටුප් හා දීමනා වැඩිකළා. 

    රුපියල් කෝටි 1750 ක වියදමින් කුලියාපිටියේ ශික්ෂණ රෝහලක් ඉදිකෙරනවා. ඊට පෙර වෛද්‍ය පීඨයක් ආරම්භ කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයට ම විශාල සංවර්ධනයක් හිමිකර දීමට අපට හැකිවුණා. කුරුණෑගල දිසාවේ සංවර්ධනය ආසන දහහතරටම ගිහින් බලන්න. උතුර නැගෙනහිර ඇතුලු රට පුරා ගිහින් බලන්න. මා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ලඟම පාසල - හොඳම පාසල වැඩ සටහන යටතේ ලබා දුන් ගොඩනැගිලි, විද්‍යාගාර  ආදී සම්පත් දෙස බලන්න.

             සංදර්ශන නැතිව අප වැඩ පෙන්වා තිබෙනවා. මේ වැඩපිළිවෙල මිට වඩා යෝධ සංවර්ධනයක් බවට පත්කර දීමට ශක්තිය ලබා දීම සඳහා හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසන්න. එමගින්  හංසයාගේ ජයග්‍රහණයත් සමග ඉදිරි කාලයේ දී ඔබේ ප්‍රදේශයට, කොට්ඨාශයට මදි නොකියන්න සංවර්ධනය ළඟාකර දෙනවා.”

හොරොම්බාව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් පාසල් පදනම් වූ නව විද්‍යාත්මක Z-score ක්‍රමවේදයෙන් විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දුනහොත් දේශපාලන බලපෑම් පවා ඇතිකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය, නිතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අද ( 07) දහවල් පැවැති විශේෂ මාධ්‍ය සාකාච්ඡාවේදී ය.

“ දිස්ත්‍රික්ක පදනමින් විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනිමේ දී එක් දිස්ත්‍රික්කයක ප්‍රධාන හා  ජනප්‍රිය පාසලට සමාන්තරව දුෂ්කර පාසල්වල සිසුන්ට ඇතිවන අසාධාරණය ඉවත් කිරීම සඳහා පාසල් පදනම් කරගෙන  නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දිම ද කළ යුත්තේ? එසේ නැත්නම් දුෂ්කර පාසල් ක්‍රමය නැතිකර ඒවා දියුණු පාසල් මට්ටමට ගෙනඒම දැයි මෙරට ජනතාවගෙත් මා අහන්න කැමතියි. දුෂ්කර පාසල් හැමදාම ඒ තත්ත්වයෙන් ම තබා ගැනීමට මේ ගොල්ලෝ කැමති බවයි, පෙනි යන්නේ ”

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අධ්‍යාපනය පිළිබඳ සදහන් වී ඇති කරුණු දෙස බැලූ විට පුදුම හිතෙන බවත් අධ්‍යාපනඥයින් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට වුවත් එහි ඇති බරපතලකම හා ගැටලු සහගත බව හඳුනා‍ගත හැකි නිසා එවැනි කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ මේ ප්‍රකාශනය හදන විට අධ්‍යාපනඥයෝ  නම් ළඟින්වත් ඉදලා නැහැ” යි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ දුෂ්කර පාසල් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් එම මැතිවරණ ප්‍රකාශනයෙහි සඳහන් යෝජනා පිළිබඳ ව වැඩි දුරටත් කරුණු දැක් වු අමාත්‍යවරයා එවැනි නව විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනිමට යාමේ බරපතලකම ගැන පෙන්වා දෙමින් එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර විශ්ව විද්‍යාල ප්‍රවේශය සිසුන්ට ලබා දුනහොත්, දේශපාලන බලපෑම් පවා ඇති කිරීමට පිළිවන්බව ද වැඩිදුරටත් පැවසීය.

“මේ ගොල්ලන්ට බලයට එන්න බැරිවෙන නිසා හොඳයි, නැත්නම් බලයට ආවොත් අප මේ හදාගෙන යන අධ්‍යාපන පද්ධතිය කඩා වැටෙනවා” යැයි ද  අමාත්‍යවරයා පැවසීය.

දුෂ්කර පාසල් වෙනුවට සියලු පාසල් වලට සමානව භෞතික හා මානව සම්පත් ලබා දී දියුණු පාසල් පද්ධතියක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල වුව ද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පෙනී යන්නේ දුෂ්කර පාසල් ක්‍රමය තවදුරටත් පවත්වාගෙනයාම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යාපනඥයන් ප්‍රමුඛ විද්වත් පිරිසකගේ නායකත්වයෙන් නිර්ණායක සකස් කොට වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක කරන ලද Z-score ඉතා හොඳ විද්‍යාත්මක ක්‍රමයක් බවත් විපක්ෂයේ සිටිය දී පවා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලද බවත් පැවසූ අමාත්‍යවරයා පාසල් පදනම් කර ගනිමින් Z-score ක්‍රමයක් සකස් කිරීම සඳහා දුෂ්කර පාසල් උදෙසා නිර්ණායක සකස් කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී විද්‍යාත්මක පුහුණවක් ලබා දී ගුරුවරුන් ගුරු වෘත්තිකයන් ලෙස පාසල් පද්ධතියට ඇතුළත් කිරීම පිණිස අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කරන ලද බව පෙන්වා දුන් අමාත්‍යවරයා,  අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල පීඨ බවට පත්කර උපාධියක් ලබා දුන් පමණින් ගුරු වෘත්තීය සම්බන්ධ ප්‍රශ්නය නොවිස‍ඳෙන බවත් විද්‍යා පීඨ ඔස්සේ ගුරු පුහුණුව මෙන් ම ඔවුනට උපාධි ලබා ගැනීම සඳහා ද අවස්ථාව අවුරා නැති බවින් විද්‍යා පිඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමේ යෝජනාව පුදුම සහගත බවත් සඳහන් කළේය.

ගුරු සහායක සහයිකාවන් 50,000ක් බඳවා ගැනීම සඳහා  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන ද අමාත්‍යවරයා  සඳහන් ක‍ළේ, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගුරු සහායකයින් බඳවාගෙන අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය අඩුකරන ලද බවයි.

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සඳහා 2015 වසරට පෙර සිදුකරන ලද ආකාරයට දේශපාලන ලයිස්තුවෙන් වැඩ බලන විදුහල්පතිවරුන් පත්කිරීම වැනි  ක්‍රම වෙනුවට, විභාග පවත්වා සුදුස්සන් බඳවා ගැනීම තමා අධ්‍යාපන පදවියට පත් වු පසු ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

“ බස් ඩිපෝ වලට විවිධ කාර්මිකයන් 50,000ක් බඳවා ගන්නා ආකාරයට පාසල් සඳහා ගුරුවරුන් 50,000ක් බඳවා ගත නොහැකියි. ගුරුවරුන් බඳවා ගැනිමට විධිමත් ක්‍රමයක් තිබෙනවා. එම ක්‍රමයෙන් තොරව ගුරුවරුන් බඳවා ගත නොහැකියි.  වැරදිමකින් හෝ එම කණ්ඩායම බලයට පත්වුවහොත් අධ්‍යාපනය වෙනුවෙන් මේ දක්වා අප සිදුකරන ලද දේ ගඟට කැපූ ඉණි බවට පත්වෙනවා. මේ කියන විදිහට කටයුතු කළහොත් වසර 13ක  සහතික කරන ලද අධ්‍යාපනය ද අහෝසි කිරීමට ඉඩ තිබෙනවා “යැයි  ද අමාත්‍යවරයා කීවේය.

“රටට හා වැඩ ලෝකයට ගැලපෙන දැනුම පදනම් කරගත් සමාජයක් බිහි කිරීමට අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එහෙත් එම මැතිවරණ ප්‍රකාශනයෙන් තැත් කරන්නේ නැවත වැඩවසම් යුගයකට යාම සඳහායි.”

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිම යනු 1988න් පසුව එක්සත් ජාතික පක්ෂය නොලැබුණු රාජ්‍ය නායකත්වය නැවත හිමිකර ගැනීම බව කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය හා කොට්ඨාස මට්ටමින් පැවැති ජනහමු අමතමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ, අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හැමදෙනාම කැපවී ක්‍රියාකරන බවත් ජනපතිවරණ ජය හිමිවීමත් සමග ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ලැබෙන බවද අමාත්‍යවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂය තුළ පැවති සියලු මතවාද හමාර කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඒකමතිකව පත්කරනු ලැබීමෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පතා සියලු දෙනා කටයුතු කරන බවත්, ඔහුගේ ජයග්‍රහණයත් සමග ඉදිරි අවුරුදු පහේ දි රටේ ඉතිරි සංවර්ධන ක්‍රියාදාමය සම්පූර්ණ ව හා සාර්ථක ව  ඉටුකිරීමට හැකිවන බවත් නිදහසේ ජීවත්වීම සඳහා ඇති කරන ලද වාතාවරණය නැවත ජනතාවට ලබාදීමට හැකිවන බවත් මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

          ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව පක්ෂ හා සංවිධාන 47ක් හංසයාට සහයෝගය දීමට ගිවිසුම් අත්සන් කරන ලද බවත්, රාජපක්ෂ නම් එකම පවුලක් බලයට ගෙනවිත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීමට විරුද්ධව සියලු ප්‍රගතිශීලී බලවේග එකතු වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

මහලේකම්වරයා මෙසේ ද කීවේය.  “2015 දි අපේ ආණ්ඩුවක් පත්කර ගන්නට අපේ ම කියා ජනාධිපතිවරයකු හිටියේ නැහැ. නිර්පාක්ෂික වෙනවා යැයි කීවාට එතුමා නිර්පාක්ෂිකයෙක් ද කියා තමුන්නාන්සේලා දන්නවා. අපට මේ අවුරුදු තුනහමාරේ දී ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කළ නිසා බොහෝ කටයුතු කළ නොහැකි වුණා. බාධා මැද කළ හැකි හැමදේම කළා. අවසාන මාස හයේ දී තමයි අපට වේගයෙන් වැඩ කරන්න පුළුවන් වුණේ.”

“මෙදා ජනාධිපතිවරණයේ දි වෙනදාට වඩා ගම්වල ජනතාව උද්යෝගයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා. ඒ බව දවස ගානේ එකතුවන ජනතාවගෙන් පෙනෙනවා. කැපීපෙනෙන වෙනසක් සිදු වී තිබෙනවා. පොහොට්ටුවේ සාමාජිකයින් පවා අප සමග එක්වෙනවා, ‘හංසයා’ ජයග්‍රහණය කරවීම සඳහා ජනතාව තුළ වෙනදාට වඩා උද්යෝගයක් ඇති වී තිබෙනවා. පක්ෂ පාට බේදයෙන් තොරව එක් වී ජනාධිපතිවරණයෙන් ජය ලබා ගෙන රට සංවර්ධනය කොට නිදහසේ ජිවත්වීම සඳහා ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් වෙත  මූල්‍ය ප්‍රදාන ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

ඒ අනුව, පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින්, පළමු, දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ මෙම විෂය ධාරාව ක්‍රියාවට නැංවෙන පාසල් 299 කට රුපියල් 500,000 ක අවමයකට යටත් ව මෙම මූල්‍ය ප්‍රදාන වාරික වශයෙන් ලබාදීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 158ක මූල්‍ය ප්‍රතිපාදන යොදවා ඇත.

මෙම මූල්‍ය ප්‍රදාන ඵලදායී ලෙස යොදාගතයුතු බවට උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 40/2018 චක්‍රලේඛය නිකුත් කර ඇති අතර,  ඒ අනුව  මෙම මූල්‍ය ප්‍රදානය පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කරනු ලබයි. චක්‍රලේඛ විධිවිධානවලට අනුකූල ව නියමිත කාලසීමාව තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් යුතුව වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් මෙම මූල්‍ය ප්‍රදාන යොදවා ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.

වෘත්තීය විෂය ධාරාවට අදාළ විෂය ක්‍රියාකාරකම්, විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා ඉගෙනුම් පරිසර සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පාසල් මට්ටමින් ඉටුකරලීමට අවැසි තීරණ ගත හැකි පරිදි පාසල බලාත්මක කිරීම මෙම මූල්‍ය ප්‍රදානයේ අරමුණයි.

 අනාගත වැඩලෝකයට අවශ්‍ය වෘත්තීය හැකියාවන් සහිත මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත. වසර 13ක අධ්‍යාපනයෙන් පසු ජාතික වෘත්තීය සුදුසුකම 4 (NVQ4) සහතිකය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පිරිනමන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය (Advance Certificate in Vocational Education)  පිරිනැමීම ද මෙහි විශේෂත්වයයි.

කුලියාපිටිය හම්මලව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුව අමතමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

කුලියාපිටිය පිදුම ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැක්කේ ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව ගුරුවරුන් බඳවා ගැනීමෙන් මිස, දේශපාලන හිතවතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත්, ගම් මට්ටමින් 50,000ක් ගුරු සහායකයින් ලෙස පාසල් පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු කරන බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්  අමාත්‍යවරයා මේ අදහස් පළ  කර සිටියි.

ගුරු සේවා ව්‍යවස්ථාවේ අනුව උපාධිධාරීන්, විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්, සෙසු ඩිප්ලෝමාධාරීන් මෙන් ම උසස් පෙළ සමතුන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට හැකියාව  පැවතිය දී, උසස් පෙළ සමතුන් ගුරු සහායකයින් ලෙස බඳවා ගැනීමෙන් සිදුවන්නේ පසුගිය වසර කිහිපය තුළ මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවට ලක්කිරීමක් බව ද, එය මෙරට තරුණ පරපුර මුළා කරමින් ඔවුන්ගේ ඡන්දය සොරාගැනීමට සිදුකරන කූඨ දේශපාලනික ප්‍රයත්නයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

2015 වසරේ සිට මේ දක්වා මෑතකාලීන ව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට උපාධිධාරීන්, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්, සෙසු ඩිප්ලෝමාධාරීන්, සහ උසස් පෙළ සමතුන්   25,000කට ආසන්න පිරිසක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති බව ද, පසුගිය දා පළමු වරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් 8000ක් බඳවාගත් බවත්,  ඒ අනුව තමා ගත් මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි වසර කිහිපය ඇතුළත මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා ගුරු හිඟය සම්පූර්ණයෙන් ම තුරන් කිරීමට නියත වශයෙන් ම හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන්, ගුරුවරුන් බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේද මඟහැර, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවට ලක්කරමින් මෙරට ගුරු සේවය වඩාත් ප්‍රශස්ත සේවාවක් ලෙස දිනා සිටින ගෞරවය විනාශ කිරීමට සිහින මැවීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියි.

මැදල්පොළ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

Search