නවතම පුවත්

පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බැවින් පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා පාසල් තුළ විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවා ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අනාවරණය වූ තොරතුර කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වූ අතර, ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශවකරුවන් විසින් සිදුකරනු ලබන දේශපාලන ප්‍රෝඪාවන්ට නොරැවටෙන ලෙසත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී වගකීමෙන් හා විචාරශීලී ව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිකිරීමට දරන උත්සාහයන් ද මෙම පූර්ව මැතිවරණ සමයෙහි පැවතිය හැකි හෙයින් ඒ සියලු ක්‍රියාකලාප කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් ප්‍රජාව වෙත දන්වා සිටියි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලන කටයුත්තක් පෙරදැරිකරගෙන සිදුවන්නක් බවට මතයක් සමාජගත කරන්නට ඇතැම් පිරිස් විසින් දරන උත්සාහය කණගාටුදායක ය.

ආනන්ද විද්‍යාලයේ ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබූ මහල් පහකින් යුත් මුවර් ගොඩනැගිල්ල වෙනුවට නව සත්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  2016 ඔක්තෝබර් 26 වැනි දින 2016/ED/E/34  දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව 2016 නොවැම්බර් මස 08 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව, ආනන්ද විද්‍යාලයේ මෙම යෝජිත සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම හැර ඉතිරි ඉදිකිරීම් කටයුතු සියල්ල සිදුකෙරුණේ  2016 වසරේ අදාළ කොන්ත්‍රාත් ප්‍රදානයෙන් පසුවය.

2019-10-21 දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇතැයි සඳහන් වන්නේ 2014 වසරේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බවයි. එහෙත් 2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබිය දී හිටපු ආරක්ෂක ලේකම්වරයා ලවා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදුකර ඇත්තේ මෙම ඉදිකිරීම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ අනුගමනය කිරීමකින් තොරවය.

2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබිය දී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බව දැන දැනත් 2014 වර්ෂයේ දී මෙම ඉදිකිරීම් ආරම්භ කළ බව සඳහන් කිරීම මැතිවරණ කොමිසම නොමග යැවීමකි. එමෙන් ම ජනතාවට සත්‍යය වසන් කිරීමකි. එම අවස්ථාවේ දී මුල්ගල තැබීම දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කරන ලද්දක් බවට මැතිවරණ කොමසාරිස්වරයාට කිසිවෙකුත් පැමිණිලි ඉදිරිපත් කළේ නැත.

 2016 වසරේ සහ ඉන් පසුව එළඹි වර්ෂවල අධ්‍යාපන අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මගින් වෙන් කරගන්නා ලද රුපියල් මිලියන 600 කට ආසන්න මුදල් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගෙන ඇත. මෙම ගොඩනැගිල්ලේ විවෘත කිරීම් සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී ආනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු කණ්ඩායම ඒ සඳහා අදාළ දිනයන් යොදාගැනීම පිළිබඳ එකඟත්වය පළ කළ අතර, ආදිශිෂ්‍ය හා දෙමව්පිය නියෝජිතයන්ගේ ද එකඟත්වය ඒ සඳහා පළ කර තිබිණි. ඒ අනුව, අදාළ විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත හිමිවිය.

එහෙත් ඇතැම් පටු දේශපාලන මත දරන පාර්ශවකරුවන් විසින් ආනන්ද විද්‍යාලයේ කීර්ති නාමයට ද හානි පමුණුවමින් මෙම පාසලේ අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලනික අරමුණක් ඉටු කරගැනීමට දරන උත්සාහයක් ලෙස සමාජගත කිරීම පිළිකුල්සහගත ය. ආදි ආනන්දීයන් ලෙස සහ දෙමව්පිය එකමුතුව නමින් පෙනී සිටින අදාළ කණ්ඩායම් සැබවින්ම එවැනි නියෝජිතයන් නොවන අතර, ඔවුන් දේශපාලන රැස්වීම් සඳහා පෙනී සිටිමින්, දේශපාලන මත සමාජගත කිරීම වෙනුවෙන් තැනින් තැන පවත්නා උත්සව අවස්ථා සඳහා සම්බන්ධ වන අවස්ථාවාදීන් පිරිසකි.

 එමෙන් ම  ආනන්ද විද්‍යාලයෙන් ගුරු මාරු ක්‍රියාවලිය යටතේ වෙනත් පාසල් වෙත මාරුකර යවන ලද ගුරුවරුන්, දේශපාලන රැස්වීම් මෙහෙයවන නිවේදකයින් ඇතුළු පිරිස එක්තරා පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් ජාතියේ සංස්කෘතික උරුමයක් වන මෙවන් අධ්‍යාපන ආයතනයක කීර්ති නාමය විනාශ කරන්නට දරන උත්සාහය නින්දිත ය. වසර හතරහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට අධ්‍යාපනයේ සිදුකරන ලද විප්ලවීය වෙනස ඉවසනු නොහැකි ව,  කුහක දේශපාලනය කරපින්නාගෙන ජනතාව වෙත අසත්‍යය පතුරවමින් මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ලඝු කරන්නට තැත් කරන්නන් ඉදිරියටත් මෙවැනි ම නිර්ලජ්ජිත ක්‍රියාවන්හි නිරතවීමට ඉඩ ඇති බැවින් ඒවායින් ජනතාව ප්‍රවේශම් වීමට වගබලාගතයුතුව ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරීම සඳහා 2016 සහ 2017 වර්ෂයන්හි උසස් පෙළ ප්‍රතිඵල මත කණ්ඩායම් දෙකක් යටතේ සිසුන් 8,000ක් බඳවාගැනීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත මෙම සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතු ඔක්තෝබර් මස 3 වැනි දින සිට ආරම්භ කෙරිණි. නිට්ටඹුව සාරිපුත්ත, මඩකලපුව, අඩ්ඩාලච්චේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිසුන් ඇතුළත් කරගැනී‍්‍ම ඔක්තෝබර් මස 03 වැනි දින සිදුකෙරුණු අතර, මහවැලි, සියනෑ, රුවන්පුර, සහ පේරාදෙනිය විද්‍යාපීඨ සදහා ඔක්තෝබර් 15 වැනි දින සිසුන් ඇතුළත් කරගන්නා ලදී. එමෙන් ම වව්නියා, යාපනය, දර්ගා ටවුන් සහ ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඔක්තෝබර් 16 දින ද, මහරගම සහ ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඔක්තෝබර් 17 දින ද සිසුන් ඇතුළත් කරගන්නා ලදී.

නිල්වලා සහ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඔක්තෝබර් 24 වැනි දා සිසුන් ඇතුළත් කරගැනෙන අතර, දඹදෙනිය සාරිපුත්‍ර, රුහුණ, හාපිටිගම සහ පස්දුන්රට හා පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙත ඔක්තෝබර් මස 28 වැනි දා සිසුන් ඇතුළත් කරගැනීමට නියමිතයි.

මෙම ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අපේක්ෂකයින් දිශාභිමුඛ කිරීමේ වැඩසටහන බඳවාගත් දින සිට දින 18ක කාලයක් සිදු කෙරේ. මෙතෙක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට වසරක දී ඇතුළත් කරගැනුනේ සිසුන් 3500ත්4000ත් අතර ප්‍රමාණයක් වන අතර මෙවර කණ්ඩායම් දෙකක සිසුන් 8000ක සංඛ්‍යාවක් එකවර බඳවා ගත් බැවින් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත රුපියල් මිලියන 430 මූල්‍ය ප්‍රතිපාදන යොදවා දේශන ශාලා, නේවාසිකාගාර, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීමට මේ වනවිටත් කටයුතු යොදා ඇත.

 

රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම වෙනුවෙන් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

 මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථා පුළුල් කිරීම සදහා පාසල් විෂය මාලාව තුළ විදේශ භාෂා ඉගෙනීම ප්‍රචලිත කිරීම, විදේශ භාෂා උගන්වන පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම, දැනටමත් පාසල් තුළ ස්ථාපිත කර ඇති භාෂා විද්‍යාගාර ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩප්‍රස්ථා සලසාදීම, භාෂා සම්බන්ධයෙන් තෘතීයික අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් යොමුකරවීම මෙම  ගුරුවරුන් බඳවාගැනීමේ අරමුණු අතර වේ.

 වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනය තුළින් වැඩි දායකත්වයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් 2019-01-23 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද සංදේශයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ලැබීමෙන් පසු විදේශ භාෂා පාසල් තුළ ඉගැන්වීම වෙනුවෙන් ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.

 දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල  10-11 ශ්‍රේණිවල සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා මෙම උපාධිධාරී නවක ගුරුවරුන් යොදවනු ලැබේ.

පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා  මෙසේ  විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවට ය.

 
 
-          වයඹ පළාත් තරුණ සමුළුව අමතමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා
 
තරුණ පරපුරට පැහැදිලි අනාගතයක් ගොඩනැගිය හැකි පිරිස සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
 
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කුලියාපිටිය නගර ශාලාවේ පැවති වයඹ පළාත් තරුණ සමුළුව අමතමිනුයි.
 
අලුත් ලෙස සිතන පතන පරපුරක් බිහිකිරීම එම කණ්ඩා‍යමේ අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් යුගයකට ගෙනයාමට මේ වන විට කටයුතු කරමින් සිටීම ඊට කදිම නිදසුනක් බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහි දී පෙන්වා දුන්නා.
 
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන යටතේ පළමු අදියර ළඟදී ම ක්‍රියාත්මක කරන බවත් ලෝකය දියුණු වන විට සීමා මායිම් වලින් එහාට ගොස් විශ්වය දැකීමේ අවස්ථාව මෙරට දූ දරුවන්ට ලබා දීම එහි මූලික අරමුණ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
 
දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකළ යුතු බවත් අපි සිතන ආකාරය වෙනස් වියයුතු බවත් පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා එවැනි තත්ත්වයක් රට තුළ ගොඩනැගිය හැකි පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ සිටින බවත් අවධාරණය කළා.
 
 

2019 වසරේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට  ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

පසුගිය වර්ෂය තෙක් සිසුන් 15,000කට පමණක් පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර හිමිව තිබූ අතර එය මේ වර්ෂයේ සිට 20,000 තෙක්  ඉහළ නැංවීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති අතර, එම ශිෂ්‍ය සංඛ්‍යාව අතරින් සිසුන් 19,750ක් ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා තෝරා ගැනෙනුයේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට ලබාගන්නා ලකුණු පදනම් කරගනිමිනි.

එහෙත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම පදනම් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර ලබාදීමට කටයුතු කරන ලෙස මීට අදාළව නිකුත් කරන ලද කැබිනට් මණ්ඩල තීරණය යටතේ උපදෙස් ලබා දී තිබේ. මෙම ශිෂ්‍යාධාර අරමුදල 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ම අදාළ සිසුන් වෙත ලබාදෙනු ලැබේ.

රටේ සියලු  දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, පහ ශ්‍රේණි ශිෂ්‍යාධාර අරමුදල් ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමත්, ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500/- සිට රු750/- දක්වා ඉහළ නැංවීමත් ඒ අතර තවත් සුවිශේෂී පියවරකි.

කවර බාධක පැමිණියත් ගත වූ වසර කිහිපය තුළ ජනතාවට දැනෙන වැඩ කොටසක් කරන්නට රජයක් වශයෙන් සමත් වූ බවත්, මෙවර ජනාධිපතිවරණය නිසැකවම එක්සත් ජාතික පක්ෂයට ජයගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් දඹදෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් කුරුනෑගල, නාරම්මල මහජන පොළ පරිශ්‍රයේ පසුගිය දා පැවති ජනරැලියට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

පසුගිය රජය සමයේ රටේ පැවති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යවරයා, “2010 ජනාධිපතිවරණයෙ ඡන්ද ගනින්න ගිහිල්ලා සියලු ම ආරක්ෂක නිලධාරීන් සිටිද්දී අධිආරක්ෂිත කලාපෙදි අපිට වෙඩි තිබ්බා. මම පණ බේරගත්තෙ අනූනවයෙන්. ඔබතුමන්ලට මතක ඇති මේ ප්‍රදේශවල තිබුණ තත්ත්වේ. අපි ඒ වෙනුවට කළේ සාධාරණ සමාජයක් ඇතිකිරීමයි. අපේ ආණ්ඩුව තරම් පොලිස් නිලධාරීන්ගේ හමුදා නිලධාරීන්ගේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරපු ආණ්ඩුවක් තියෙනව ද කියලා මම තමුන්නාන්සෙලාගෙන් අහනවා..මගේ අමාත්‍යාංශය යටතේ ගුරුවරු දෙලක්ෂ පනස්දහසක් ඉන්නවා, ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 17,000ක් ඉන්නවා. සියයට දෙසිය ගනන්වලින් ඒ එක් එක් ශ්‍රේණිවල වැටුප් අපි වැඩි කළා . රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක් 16ක් ඉන්නවා. අහල බලන්න මේ අවුරුදු තුන හතර ඇතුළත දුන්න සහන ගැන. ” යැයි පැවසීය.

ජනමාධ්‍ය තුළින් බඩු මිළ ඉහළ යාම සම්බන්ධව මවාපෑම් කරන්නට උත්සාහ දරන බව ද, අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිළ මීට වසර 5කට පෙර තිබුණාට වඩා අඩුවෙන් තවමත් පවතින බව ද, මාධ්‍ය මාෆියාව යොදාගනිමින් ජනතාවගේ ජීවන බර වැඩි කර ඇති බව ඒත්තුගන්වන්නට උත්සාහ දරන බව ද ජනතාව මේවාට නොරැවටී බුද්ධිමත් ව කටයුතු කළ යුතු බව ද, මෙහි දී තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම මෙහි දී තවදුර‍ටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, මේ රටේ මිනිස්සුන්ට තොරතුරු ලබාගැනීමේ පනත ගෙනල්ලා, කොමිසන් සභා ඇතිකරලා, දේශපාලනඥයෝ කරන බලපෑම් නැතිකරන්න කටයුතු කරල තියෙනවා.




අද පොලිස් කොමිසම තියෙනවා. මැතිවරණ කොමිසම තියෙනවා. ඉස්සර ඡන්දයක් තියෙන කොට මැතිවරණ කොමසාරිස් පවා කිව්වෙ තමන්ට ආතතිය කියලා, දේශපාලනඥයන්ගෙන් තිබුණ බලපෑම් නිසා. අද මැතිවරණ කොමිසම හදපු නිසා හිතෙන හිතෙන දේ කාටවත් කරන්න බෑ. අපි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කොයිතරම් කටයුතු කළා ද කියලා සාපේක්ෂ ව හිතලා බලන්න.. යැයි ද සඳහන් කළේය.

එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක බණ්ඩාරනායක මැතිතුමා සඟ වෙද ගුරු ගොවි කම්කරු නමින් පංච මහා බලවේගයක් නිර්මාණය කළ බවත් අද පොහොට්ටුවේ තියෙන බලවේගය රාජපක්ෂවරුන් පමණක් බව ද ජනතාව‍ට රට වැදගත්නම් ඡන්දය හංසයාට දෙන ලෙසත්, පවුලක් වැදගත් නම් පොහොට්ටුවට ඡන්දය දෙන ලෙසත් අමාත්‍යවරයා කරුණු දැක්වීය.

මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “අපිට පුළුවන්කම ලැබුණා, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, අනෙකුත් සියලු ම නායකයනුත් එක මතයකට ඇවිත් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ම අද එක මතයකට ඇවිත් ශක්තිමත් පවුරක් ‍විදියට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, එදා ප්‍රේමදාස මැතිතුමා දුප්පතුන්ට, සාමාන්‍ය ජනතාවට කළ විශේෂත්වය නිසා අද සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ කටයුත්ත කරයි කියලා හැමෝගෙම විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා.”.. යැයි ද පැවසීය.
 
 
 
 
 
 
 
 
 
 
 

Search