නවතම පුවත්

සුරක්ෂා  රක්ෂණ ප්‍රතිලාභ වේගවත් ව දරුවන්ට...

 

නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ පරමාර්ථයෙන්, දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා වත්මන් රජය විසින් නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීම මේ වනවිට වේගවත් ව ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ අනුව ඉකුත් තිස් වැනිදා (2019-06-30)  වනවිට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සංඛ්‍යාව 11740ක් වන අතර, රුපියල් 532,976,108/- ක් ප්‍රතිලාභ මුදලක් මේ වනවිට ගෙවා අවසන් ව තිබේ.

එදාමෙදාතුර ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මෙම රක්ෂණාවරණ වැඩපිළිවෙළ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.

 අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනයත් අතර  එළඹ ඇති ගිවිසුම අනුව, රක්ෂණාවරණයට රජය විසින් වැයකරන මුදලින් 75%ක ප්‍රතිලාභ ප්‍රමාණයක් පාසල් දරුවන් වෙත ගෙවීමට යම් හෙයකින් අදාළ රක්ෂණ ආයතනය අපොහොසත් වුවහොත් එතෙක් ගෙවා ඇති මුදල් ප්‍රතිශතයේ සිට 75% ක් දක්වා වන මුදල රජයට පැවරෙන බවට කොන්දේසියක් ද ඇතුළත් කර තිබෙන හෙයින් රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට ලබාදීම වෙනුවෙන් අදාළ ආයතනය දැඩි වගකීමකින් කටයුතු කිරීමට බැඳී සිටින බැවින් අලියාන්ස් රක්ෂණ සමාගම මේ වනවිටත් ඉතා කාර්යක්ෂම ව සහ සාර්ථක ව රක්ෂණ ප්‍රතිලාභ දරුවන් වෙත ලබාදීමේ ක්‍රියාවලියට එක්ව සිටියි.

අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, පාසල් 11240 ක මිලියන 4.5කට ආසන්න සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර  සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000/-ක් දක්වා ද මව්පිය වියෝවක දී එක් අයෙකුට රු 200,000/ බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස්  අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබාගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දන 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම  ඒ අතර ප්‍රමුඛ වේ.

දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම,(සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයකි.

සුරක්ෂා රක්ෂණාවණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ,  0112369369  අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. 2018 දෙසැම්බර් 01 දින සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු www.moe.gov.lk   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ 02 ලිපිනයෙන්  ද ලබාගත හැකියි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක්  (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017  වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි. මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ  සිසුන් සංඛ්‍යාව 28000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන්  තෝරාගන්නා ලදී.  

එකවර සිසුන් 8000ක් විද්‍යාපීඨ වෙත බඳවාගැනීමේ දී මතු වන, දේශන ශාලා පහසුකම් සහ යටිතල පහසුකම්, නව ගොඩනැගිලි, කථිකාචාර්යවරුන් සම්පාදනය ඇතුළු සියලු අභියෝග වෙනුවෙන් ද සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය පසුබිම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ  මේ වනවිට සකස් කෙරෙමින් පවතී.

21 වැනි සියවසට ගැළපෙන නව දැනුම රටේ දරුවන්  වෙත ලබාදීම අත්‍යවශ්‍ය වන අතර, ගුරුවරුන් පුහුණු කිරීමේ දී ඒ සම්බන්ධ ව විශේෂ අවධානය යොමුකරමින් කටයුතු කරන ලෙසත්,  තාක්ෂණය සමග බද්ධ වෙමින් දැනුම යාවත්කාලීන කරගැනීමට පහසු අවස්ථා සියලු ගුරුවරුන්ටත්, සියලු දරුවන්ටත් ළඟා කරදීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යතුමන් උපදෙස් ලබාදී  තිබේ. ඒ අනුව දිගු කලක් පැවති යල්පැනගිය විෂය මාලා වෙනුවට යාවත්කාලීන වූ, නවලොවට ගැළපෙන විෂය නිර්දේශ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට හඳුන්වාදීමට ද කටයුතු යොදා තිබේ. එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගිය වසරේ සිට විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා වන දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත.

 දිගුකාලයක් තිස්සේ අධ්‍යාපන පද්ධතියේ මතුව පැවති ප්‍රමාණවත් ගුරු අධ්‍යාපනඥයින් පද්ධතිය තුළ නොසිටීමේ ගැටළුව කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ පූර්ණ අවධානය යොමු වූ අතර, ගුරු විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු මධ්‍යස්ථානවල ‍ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥයින් 852ක් අධ්‍යාපන පද්ධතියට බඳවාගැනීමට ද පියවර ගන්නා ලදී.  

ඉදිරියේ දී විද්‍යාපීඨ තුන් අවුරුදු ඩිප්ලෝමාව උපාධියක් දක්වා සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති අතර, තාක්ෂණ විෂයධාරාව ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ම වෙන්වන  ජාතික තාක්ෂණ විද්‍යාපීඨයක් කුලියාපිටියේ  දි පිහිටුවීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක ව පවතී.

එමෙන් ම, විද්‍යාපීඨ 19 කින් ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමාව මේ වනවිට සම්පූර්ණ කර සිටින 4000කට අධික ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

අධ්‍යාපන පද්ධතිය තුළ දීර්ඝකාලීන ව නොවිසඳී පැවති ගැටළු රැසක් විසඳීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ මෑතකාලීන ව පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් බඳවාගැනීම ඒ යටතේ ගෙන ඇති සුවිශේෂ ‍පියවරකි.  

අමාත්‍යතුමන්ගේ උපදෙස් මත මේ වනවිට දිවයින පුරා පළාත් සහ ජාතික පාසල් පද්ධතියට බඳවාගෙන ඇති සමස්ත ගුරුවරුන් සංඛ්‍යාව 20,064කි. 2015 වසරේ 5866ක් ද, 2016 වසරේ  5018ක් ද, 2017 වසරේ 5162ක් ද, 2018 වසරේ 2186ක් ද  2019 වසරේ  මේ වනවිට පත්වීම් ලැබූ ගුරුවරුන් 715ක් ද ඊට ඇතුළත් වෙයි.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව කියමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට දුන් පිළිතුර..

  • අහිංසක මිනිස්සුන්ට ඉඩම් සින්නකර ඔප්පු ලබාදීමට විපක්ෂය එරෙහිවනවා..
    ඩී.එස්.සේනානායක මහතා ගොවිජන පද ඇති කරද්දීත් කුමන්ත්‍රණයක් කියලා පහර ගැසුවා..
  • විපක්ෂය හැම දෙයකටම විකුණන්න හදන්නේ ජාති වාදය සහ වර්ගවාදයයි ..

මෙරට අධ්‍යාපනයේ පැරණිතම විද්‍යස්ථානය වශයෙන් සැලකෙන පිරිවෙන  සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා 1980 දී එවකට අධ්‍යාපන අමාත්‍ය පදවිය හෙබැවූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙන් අධ්‍යාපන පනත සම්මත කොට ක්‍රියාත්මක කරවනු ලැබීය. ඒ අයුරින් වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වන පිරිවෙන් පනත සංශෝධනය කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය බැවින් ඒ උදෙසා 21 වැනි සියවසෙහි නව තාක්ෂණය ඔස්සේ ගිහි පැවිදි සිසුනට කඩිනමින් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව ලබා දීම මෙන්ම පිරිවෙන් ක්ෂේත්‍රය තුළ දශක හතරක් පුරා හඳුනාගත් විවිධ අවශ්‍යතා හා ඌනතා සම්පුර්ණ කිරිම හඳහා නෛතික ප්‍රතිලාභ සම්පාදනය ද පිරිවෙන් පනත සංශෝධනය කිරිමෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දි ඇත. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යාපනය පිළිබඳ ලෝක විද්වතුන් අතර පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත කිරිමද මෙහි තවත් අරමුණකි.

පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කරන ලෙස වෘත්තී සංගම්, පරිවේණාධිපතිවරුන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගම් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ අමාත්‍යවරයා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ද අනුමැතිය ලබා ගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත පවරා ඇත.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට සමාන්තරව ශ්‍රී ලංකා පරිවේණාධිපති සේවය නමින් නව සේවාවක් ස්ථාපිත කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ද ඉදිරිපත් කර ඇත. පිරිවෙන් සදහාම වෙන් වූ පරිපාලන සේවයක් ආරම්භ කිරීමට ද අමාත්‍යවරයා පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දී තිබේ.

ඉතිහාසයේ පළමුවරට පිරිවෙන් අධ්‍යාපනයට සමානව සිල්මාතාවනට අවශ්‍ය පහසුකහම් සැලසීම පිණිස ආරම්භ කරන සීල මාතා අධ්‍යාපන ආයතන එකොළහ පිරිවෙන් ඒකකයෙහි ලියාපදිංචි කිරීමටත් ඒවාට පිරිවෙන් හා සමාන වරප්‍රසාද හිමිකර දීමටත් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

පාසල් සදහා මෙන් ම පිරිවෙන් සදහා ද භෞතික සම්පත් ලබා දී නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථා පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතු බවට අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට උපදෙස් දීමේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන ගණන් වෙන්කර පසුගිය වසරේ සිට මේ දක්වා පිරිවෙන් දෙසියයකට නව ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් සපයා අවසන් බව පිරිවෙන් ඒකකය පවසයි.

පසුගිය වසර හතර හමාරක පමණ කාලය තුළ පාසලට මෙන් ම පිරිවෙන් අධ්‍යාපනය හා වෙහෙර විහාර සංවර්ධනයට රුපියල් කෝටි ගණනින් වැය කළ වෙනත් රජයක් නොමැති බවත් නිස්සරණාධ්‍යාශයෙන් ම වත්මන් රජය ඒ සහා කැප වුණේ ඇතැම් දේශපානඥයන් මෙන් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හදවතින් ම මිස වෙනත් වක්‍ර අපේක්ෂා පෙරදැරි කරගෙන නොවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90වන සංවත්සරය  නිමිත්තෙන් බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම හා සමරු ඵලකය විවෘත කිරීම අධ්‍යාපන අමා‍ත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුලි මස 5වන සිකුරාදා) පස්වරුවේ පැවැත්වුනා.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළ   අමාත්‍යවරයා ඒ බැව් ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය බී.සී. පෙරේරා වැටුප් වාර්තාවෙන් පැන නගින ලද්දක් බව පැවසූ අමාත්‍යවරයා එම විෂමතාව අනෙකුත් සේවාවන් හා ගැටෙන කරුණක් වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයට හුදකලාව කටයුතු කළ නොහැකි බවත් පැවසීය. 2015 ට සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරන ලද අතර, විදුහල්පති වැටුප පමණක් සියයට 106කින් ඉහළ නැංවූ බව ද අමාත්‍යවරයා කීවේය.

රාජ්‍ය සේවය තුළ පොදුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කර ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙන බව ද අවධාරණය කළේය. ගුරු උපදේශන සේවය සහ ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය ද ඉතාමත් කෙටි කාලයක් තුළ විස‍‍ඳෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

- අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින්, රට තුළ බුදුදහම නගාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් බොහෝ දේ  සිදුකරන ලද බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පවසනවා. ඉලුක්හේන බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරාධිකාරී රත්මලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිපති බෙරුවැවේ සුගතඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය, සංඝාවාසය, පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල, විහාරමන්දිරයෙහි අභිනව කොටස ඇතුළු තවත් පූජනීය ස්ථාන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පසුගිය දා (06) අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රජයක් විදියට මේ රටේ විහාරස්ථාන දියුණු කරන්න අපි ගොඩක් වැඩකටයුතු කරගෙන යනවා. පිරිවෙන් දියුණු කරන්නත් අපි කටයුතු කරල තියෙනවා.. මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නෑ. ප්‍රථම වතාවට අපි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් ක්‍රමය ඇති කරල, අද මෙහෙනින් වහන්සේලා සිටින සියලුම පිරිවෙන්වලට ගුරුවරුන් ලබාදෙන්න, ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්න පනතක් ගෙනැල්ල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න කටයුතු කරල තියෙනවා. පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින් බුදුදහම නඟාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් අපි බොහෝ දේ සිදුකර තිබෙනවා. විශේෂයෙන් ම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පසුගිය කාලයේ අපිට පුළුවන් වුණා, රජයක් විදියට  අපි වසර සියයකට වඩා පැරණි කිසිකෙනෙකුගේ අවධානයට එතෙක් ලක්ව නොතිබුණු විහාරස්ථාන 1500ක් සංවර්ධනය කර සංරක්ෂණය කරන්න රුපියල් ලක්ෂ පහ ගානෙ දුන්නා, මට මතකයි රුවන්වැලි සෑයේ වැලි අතුරන එකේ ඉඳල, මහා විහාරයේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන්න අපි මුදල් වෙන් කළා.  ඒවගේම මට මතකයි, දීඝවාපිය ප්‍රතිසංස්කරණයට කෝටි 75ක් අපි වෙන් කළා..”යැයි ද පැවසීය.

 කවුරුන් අතරත් හොඳ හිත දිනාගෙන කටයුතු කරන, වෙනස් ඇසකින් දකින, වෙනස් ලෙස හිතන, නිර්මාණශීලී ව කටයුතු කරන විහාරාධිකාරී ආනන්ද ස්වාමීන්වහන්සේගේ කැපවීම්සහගත කාර්යභාරය අතිශයින් අගය කරන බව ද, තමන් කුඩාකල පටන් ආගිය පන්සලක් වශයෙන් එදා සහ අද මෙහි පවත්නා වෙනස හොඳින් අවබෝධ කරගත හැකි බවත්, තමන්ට ලැබෙන පිරිකර පවා යොදාගනිමින් පවත්නා අඩුපාඩු සපුරාගන්නා මෙවැනි විහාරස්ථාන කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා නගාසිටුවීමට සහාය ලබාදීමට දේශපාලන අධිකාරය නියෝජනය කරන තමා ඇතුළු සියලු දෙනා සතුව ද යුතුකමක් පවත්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයේදී විද්‍යාපිඨ සඳහා ලැප්ටොප් පරිගණක පිරිනැමීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදුවූ අයුරු

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි. මේ තුළින්  යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කරයි.

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු දෙමව්පියන්ගේ දැනගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයදුම්පත් යොමුකිරීමට හැකිවන අයුරින්, වඩාත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් මත ඉතිහාසයේ පළමුවරට ක්‍රියාත්මක කර තිබේ.

ජාතික පාසල්වල 1,5 ,6 සහ 11 ශ්‍රේණි  හැර  අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ දී ගුරුවරුන් සඳහා වන මෙම වි‍ශේෂ තීරණය බලපැවැත්වේ.

-         අධ්‍යාපන අමාත්‍ය,  නීතිඥ අකිල විරාජ් කාරියවසම්

රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි කළ යුත්තේ කෘතිම ලෝකවල තනිවූ දරුවන් නොව ගුණදහම් සුරකින, මිනිස්කම් හඳුනන, සමාජයට යහපත සලසන දරුවන් බවත්, එවැනි දරුවන් ගොඩනැඟීම පිළිබඳ අභියෝගයක් අද අපට තිබෙන බවත්,  බුදුදහම හරහා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි  බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ 90 වැනි සංවත්සර සමරුවට සමගාමී ව කෝටි හතක මූල්‍ය ආයෝජනයෙන් ඉදිකෙරෙන බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.  

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා,

 “මේ විද්‍යායතනය එදා පොල් අතු සෙවිලි කළ, ඉතා නොදියුණු මට්ටමේ පැවති ආයතනයක්. එදා පිරිවෙනෙන් ආරම්භ කරපු අධ්‍යාපනය වැලිපිල්ලෙ, ගල්ලෑල්ලෙ, බ්ලැක්බෝර්ඩ් එකේ  ඉඳල ටැබ් එක දක්වා විකාශය වෙමින් පැමිණි ගමන මෙතන ඉන්න බොහෝ වැඩිහිටි අය දකින්න ඇති.  අද අපි නොහිතන ආකාරයෙන් ලෝකය වේගයෙන් වෙනස් වෙමින් යනවා. අද දැනුම දෙගුණයකින් වෙනස් වෙන්නෙ ගතවෙන්නෙ, මාස 13ක් විතර කෙටි කාලයක්. එතරම්  වේගයෙන් බොහෝ දේ වෙනස් වන ලෝකයකයි අපි ඉන්නෙ. මේ වෙනස්වීම් සමඟ ගුණධර්ම තියෙන අපේකම තියෙන, මනුස්සකම් තියෙන අය එක්ක ලෝකෙ ඉස්සරහට යායුතුයි.  දක්ෂකම් සමඟ ලෝකයේ ඉදිරියට යන්න නම්, අලුතින් සිතා වැඩකළ යුතුයි. මොන ප්‍රශ්න තිබුණත් අපි, සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකට ජීවත්වුණ රටක්. දීර්ඝ ගමනක් අපි එකට ආපු මිනිස්සු. ඒ වගේම තවදුරටත් අපි ඉස්සරහට බුද්ධිමත්ව කටයුතු කළේ නැත්නම් වැරදි පූර්වාදර්ශ සපයන්න ඉදිරියෙදි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. යැයි පැවසීය.

රටේ අධ්‍යාපන ඇමතිවරයා වශයෙනුත්, රජයක් වශයෙනුත් අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියල්ල ලබාදෙන්නට උත්සාහ කරන්නේ ඒ දීර්ඝ ගමන සාමූහිකව යා යුතු නිසා බවත් සඳහන් කළ අමාත්‍යවරයා, “තවත් මාස දෙකකින් අපි ටැබ් ලක්ෂයක් දෙනවා නොමිළේ, ජාතික පාසල්වල උසස් පෙළ කරන දරුවන්ට සහ ගුරුවරුන්ට. මේ වෙනස්කම් කරද්දි , අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරද්දි සමහරු විවේචනය කරනවා. ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අපි අපේ දරුවන් පෙළ ගැස්විය යුතුයි. ගුණදහම් පිරුණ දරුවන් හදන්න බෞද්ධ දර්ශනය තුළින් අපට විශාල වගකීමක් පැවරෙනවා..”යැයි ද සඳහන් කළේ ය.

මෙතෙක් කල් සිදුවූයේ දායාක කාරකාදීන්ගේ සහයෝගයෙන් සාදන ලද ගොඩනැගිලි දේශපාලනඥයෙක් පැමිණ විවෘත කිරීම් බවත්, මෙතෙක් කිසිදු රජයකින් නොලැබුණු මෙවැනි බහුකාර්ය තාක්ෂණික ගොඩනැගිල්ලක්, අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ පූර්ණ සහාය ඇතිව ලබාදෙන පළමු අවස්ථාව මෙය බවත්, ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කරන බවත් මෙහි දී අදහස් දැක්වූ, විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ පරිවේණාධිපති මහාචාර්ය ලබුගම නාරද හිමියෝ පැවසූහ.

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් මැතිතුමා පත්කිරීමෙන් පසුව රටේ සෑම තැනකම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඇතිවී ඇති දියුණුව අපට පෙනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලූම කාර්ය මණ්ඩලයට ස්තුති වන්ත වන බවයි ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමන් සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේයි

"පළමුවෙන්ම පේරාදෙණිය අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ නුවර අනෙකුත් පාසල්වල වාදක හා නර්තන කණ්ඩායම්වලට මම ප්‍රශංසා කරනවා. අද ළෙඟම පාසල හොඳම පාසලෙ වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් රටපුරා විවෘත කිරීම සිදු කරනවා. මීට පෙර පාසල් ගොඩනැගිලි විවෘත කරන්නේ එක් දිනකට එක් ගොඩනැගිල්ලක් පමණයි. නමුත් අද ගොඩනැගිලි 250ක් අපේ රජය යටතේ විවෘත වුණා.      

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සවය අමතමින් 

පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලාව, ශ්‍රවනාගාරය සහ සුහුරු පන්ති කාමර විවෘත කිරීම එම වැඩසටහනේ ප්‍රධාන අවස්ථාව ලෙස හැදින්විය හැකියි. මා අද සහභාගි වී සිටින්නේ එම ප්‍රධාන අවස්ථාවටයි. මෙහිදී විවෘත වන මෙම ව්‍යාපෘති අද විවෘත වන අනෙක් පාසල් 249 ටම බලපාන බව සඳහන් කළ යුතුයි. රටේ විද්‍යාලවල ඉදිකරන සුහුරු පන්ති කාමරවල ඉගැන්වීම සිදුකිරීම සඳහා අවශ්‍ය දැනුම මෙහිදී ගුරුවරුන්ට ලබා දෙනවා. පසුගිය වසරේ අපි සුහුරු පන්ති කාමර වැඩසටහන ආරම්භ කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම මත පේරාදෙණියේ ජාතික පාසලක් ආරම්භ කරනවා. කළුලෑල්ල, සුදු ලෑල්ල නොමැති සුහුරු ලෑල්ල පමණක් ඇති පන්ති කාමර අද අපි ආරම්භ කළා. එම පන්ති කාමර තුල ගල්ලෑල්ල, පුස්කොළ පොත, තීන්ත පෑන, බෝල්පොයින්ට් පෑන ආදී කිසිවක් නොමැතිව 21 වන සියවසට ගැලපෙන නවීන තාක්ෂණය මුසු වූ පන්ති කාමරයක් තුලට අද අපි ඇතුළු වෙනවා. පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දේශන ශාලාව, ශ්‍රවනාගාරය සහ සුහුරු පන්ති කාමර

අපි පාසල් අධ්‍යාපනය ලබන අවදියේ මෙතරම් තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ. ලිවීමට භාවිත කළේ තීන්ත පෑන හෝ බෝල්පොයින්ට් පෑනයි. එසේ නම් රටේ සෑම අංශයක්ම නවීකරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩසටහන මේ ආකාරයට සිදු කෙරෙනවා. අද මම මේ සහභාගි වී සිටින්නේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩසටහනටයි. අද රටේ අධ්‍යාපනය නවීකරණය කිරීමට අවශ්‍ය ගුරු පුහුණුව ලබාදෙන මෙම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පහසුකම් නවීකරණය කර විවෘත කිරීම කිරීමට අපි කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය 21 වෙනි ශත වර්ෂයට සුදුසු ලෙස සකස් කළ යුතුයි. මෙහි අසුන් ගෙන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන ඔබ සියලූ දෙනා 2060, 2070 පමණ වන තුරු ජීවත් වෙනවා. ඒ කාලය වන විට ලෝකය සීඝ්‍රයෙන් දියුණු වෙනවා. ඒ සීඝ්‍ර දියුණුවට අප සූදානම් විය යුතුයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් පාසල්වල මූලික යටිතල පහසුකම් තිබිය යුතුයි. අප ආණ්ඩුව බාරගත් පසු අධ්‍යාපනය නවීකරණයට අවශ්‍ය යටිතල පහසුකම් පාසල්වල නොමැති බව අවබෝධ වුණා. අධ්‍යාපන ඇමතිතුමා "ළඟම පාසල හොඳම පාසල" වැඩසටහන ආරම්භ කළේ පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීමටයි. එම වැඩසටහන ජාතික පාසල්වලට පමණක් සීමා නොකර ලංකාවේ සියලූම පාසල්වලට ගොඩනැගිලි ලබාදීමට අපි කටයුතු කළා. අවශ්‍ය පහසුකම්වලින් සපිරි ගොඩනැගිලි හෝ පන්ති කාමර පාසල්වල නොමැති නම් අධ්‍යාපනය නවීකරණය කිරීමට නොහැකියි.  

සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරුන් සිටින දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි

  දෙවනුව පුහුණු ගුරුවරුන්, ඩිප්ලෝමාධාරී ගුරුවරුන් සහ උපාධිධාරි ගුරුවරුන් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇතුලත් කර ගැනීමට අපි කටයුතු කළා. 2015 දී ආණ්ඩු බලය ලබා ගන්නා විට ශ්‍රී ලංකාවේ පාසල්වල නුපුහුණු ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් සේවයේ නිරත වුණා. ඒ සියලූ දෙනාටම විධිමත් පුහුණුුවක් ලබාදීමට අප කටයුතු කළා. එම පුහුණුව ලබා දීමට ඉතිරිව තිබෙන්නේ තවත් නුපුහුණු ගුරුවරුන් පන්දහසකට පමණයි.

ඒ සියලූ දෙනාටමත් අපි ගුරු පුහුණුව ලබා දෙනවා. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරුන් සිටින දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසිය යුතුයි.

 

 

සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි  

තුන්වෙනුව අපි තවත් කාර්යයක් ආරම්භ කර තිබෙනවා. රටේ ඇතැම් විද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳ මට්ටමක තිබෙන අතර ඇතැම් විද්‍යාලවල අධ්‍යාපනය ලබාදීම සතුටුදායක මට්ටමක නොමැති බව පෙනෙන්නට තිබෙනවා. එම නිසා මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව වැනි රටවල් සිදුකරන ආකාරයට පාසල් සුපරික්ෂා සේවය නැවත ඇති කළ යුතුයි. එම කණ්ඩායම වසරින් වසර පාසල් පිළිබද වාර්තා ලබාදෙනවා. එම වාර්තා ශිෂ්‍යයන්ට, ආදි ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට අධ්‍යයනය කිරීමට හැකියි. එහිදි පාසලේ වැරදි නිවැරදි කර ගැනීමට සුපරික්ෂා සේවය හරහා හැකියාව ලැබෙනවා.

පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සෑමදාම පාසලට පැමිණ අධ්‍යාපනය ලබාගත යුතුයි. නමුත් ඇතැම් අවස්ථාවල අසනීප තත්වයන්ට ගොදුරුවීම් හෝ වෙනත් කරදර වලට මුහුණ පෑමට සිදු වෙනවා.

ඒ වෙනුවෙන් අපේ රජය යටතේ සිසු සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එසේ නම් අපේ ආණ්ඩුව යටතේ පාසල් දූ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා.

පාසල් ගොඩනැගිලි සහ අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ වගකීම භාරගෙන තිබෙනවා. ගුරුවරුන්ට පුහුණුව ලබාදීම, පාසල් සුපරීක්ෂණය කිරීම ආදියෙහි වගකීමත් අපේ රජය විසින් ඉටුකරමින් තිබෙනවා.  

 

සියලූම පාසල් දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනය  

 

එහි තවත් පියවරක් ලෙස සියලූම පාසල් දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අපි කටයුතු කළා. පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාල වරම් ලබාගැනීමට නොහැකි බව මා පිළිගන්නවා.

තම තමන් දක්ෂතා දක්වන විවිධ විෂයන් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීම අත්‍යවශ්‍ය නැහැ.

රටේ ප්‍රවීන නළු නිලියන් අතුරින් ඇතැම් අය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරු අය නොවෙයි. රටේ දක්ෂ ගායකයෙක් වීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනිවාර්ය නැහැ. එසේ නම් මට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ දක්ෂතා හඳුනා ගැනීමයි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔබ දක්ෂ සංගීත විෂයට නම්, නර්තනයට නම්, චිත්‍ර ශිල්පයට නම් හෝ ක්‍රීඩාවට නම් ඔබ ඒ ඒ විෂයන් ඉදිරියටම හැදෑරිය යුතුයි. සාමාන්‍ය පෙළින් පසු සිසු දරුවන්ට පාසලේ අධ්‍යාපනය ලබමින් තම තමන්ගේ විෂයන් ඉදිරියටම හැදෑරිමට අවශ්‍ය අවස්ථාව සලසා දීම අපේ අරමුණයි. පාසලෙන් පිටවූ පසු වෘත්තීය අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමට අප කටයුතු කරනවා.

 

 

පොහොසත් දුප්පත් බේදයකින් තොරව සියලූම දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය ටැබ් පරිගණක යන්ත්‍රයක්  

 

අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ තවත් වැඩසටහනක් මේ වසරේ අප ආරම්භ කරනවා. උසස් පෙළ විෂයන් හදාරන සිසු දරු දැරියන්ට ටැබ් පරිගණක ලබාදීමට මේ වසරේ අපි කටයුතු කරනවා.

මේ වැඩසටහන යටතේ පොහොසත් දුප්පත් බේදයකින් තොරව සියලූම දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය ටැබ් පරිගණක යන්ත්‍රයක් හිමිවෙනවා.

පළමුවෙන් මෙය ජාතික පාසල් තුල ක්‍රියාත්මක කරන අතර දෙවනුව වයි-ෆයි පහසුකම් තිබෙන පළාත් පාසල්වල ටැබ් පරිගණක ලබාදීම ක්‍රියාත්මක කරනවා. ඒ අතරතුර වයි ෆයි නොමැති පාසල්වලට එම තාක්ෂණය ලබාදීමෙන් පසුව උසස් පෙළ අංශයන් වෙත ටැබ් පරිගණක ලබාදෙනවා. මේ ආකාරයට රටේ සියලූම පාසල් ආවරණය කරමින් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

එසේ නම් නවීකරණය වූ අධ්‍යාපන ක්‍රමය තුල ටැබ් පරිගණකයෙන් සහ පරිගණකයෙන් අධ්‍යාපනය හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව ලැබෙනවා. අද අපේ රටේ පරිගණක ආශ්‍රිත කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට තිබෙන ප්‍රධානම ගැටළුව නම් පරිගණක දැනුම නොමැති අනු දහසක පමණ හිඟයක් තිබීමයි. එම නිසා ඊට අවශ්‍ය දැනුම ලබාදීමට අපි කටයුතු කළ යුතුයි. සෑම පාසලකටම විද්‍යා විෂය සඳහා අවශ්‍ය ගුරුවරුන් ලබාදෙනවා.

ඒ වගේම ඉංග්‍රීසි භාෂාව සහ අනෙක් විදේශ භාෂා ඉගැන්වීම සඳහාත් ගුරුවරුන් ලබාදෙනවා. අධ්‍යාපනය නවීකරණය කිරීමේ තවත් කොටසක් ලෙස එය හැදින්විය හැකියි.  

 

 

සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි  

 

සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ අධ්‍යාපනයයි. මා පාර්ලිමේන්තුවට පැමිණි කාලයේ මේ බව මට ඉගැන්වූයේ අබ්දුල් හලීම් ඇමතිතුමාගේ මාමා වන ඒ. සී. එස්. හමීඩ් මැතිතුමායි. අධ්‍යාපනයට මුදල් වෙන් කරමින් අධ්‍යාපනය සංවර්ධන කළ යුතු බව එතුමා මට පැවසුවා.

රටක් දියුණු වන්නේ ඒ අනුව බවයි එතුමා එදා ප්‍රකාශ කළේ. අද අපි නොදකින තවත් වසර 20 න් ඇතිවන නව තාක්ෂණය භාවිත කළ හැකි, 21 වන ශත වර්ෂයට ගැලපෙන පරපුරක් අපි නිර්මාණය කළ යුතුයි. අලූත් පරපුරක් සහ අලූත් ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරගත යුතුයි.

නව පරපුරක් හෝ නව දැනුමක් නොමැති නම් තාක්ෂණය සමඟ ඉදිරියට නොයනවා නම් අලූත් ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමෙන් පළක් නැහැ.

එම නිසා අප මේ සිදුකරමින් සිටින්නේ අධ්‍යාපනය නවිකරණය කිරීමේ පළමු වැඩ කොටස බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.  

 

 

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් මැතිතුමා පත්කිරීමෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඇතිවී ඇති දියුණුව අපට පෙනෙනවා  

 

අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් මැතිතුමා පත්කිරීමෙන් පසුව රටේ සෑම තැනකම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඇතිවී ඇති දියුණුව අපට පෙනෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ සියලූම කාර්ය මණ්ඩලයට ස්තුති වන්ත වෙනවා.

 

 

පේරාදෙණිය අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කිරීමෙන් පසුව මා අද නැවතත් මෙහි පැමිණ තිබෙනවා. මෙම ස්ථානයේ ගොඩනැගිලි සංඛ්‍යාව වැඩි වී තිබෙන බව පෙනෙනවා.

එදා පුහුණු විද්‍යාලයක්ව පැවති මෙය විද්‍යා පීඨයක් බවට පත්කිරීමට අපි කටයුතු කළා. පේරාදෙණිය සහ මහවැලි විද්‍යා පීඨය යන ආයතන දෙකම මම එදා නුවර ආරම්භ කළා. මෙම විද්‍යා පීඨ හරහා ගුරුවරුන් අධ්‍යාපනය ලබා පිටවී ගොස් තිබෙනවා. ඒවගේම මේ තුලින් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවයක් ඉටුවී තිබෙනවා.

එසේ නම් දැනට මේ විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසුන්ට මම අවසන් වශයෙන් සුබ ප්‍රර්ථනා කරනවා.    

 

 

අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම්

 

අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ඉතිහාසගත උත්සව සභාව අමතමින් සඳහන් කළේ රටේ අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කිරිමට හැකි වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමැතිතුමාගේ මගපෙන්වීම මත බවයි.

අග්‍රාමාත්‍යතුමන් අලුතින් හිතන නායකයෙකු බවයි අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ.

 

 

අනාගතයට යාමට හැකි ගමන් බලපත්‍රය අධ්‍යාපනයයි  

 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙමින් මධ්‍ය විද්‍යාල 50ක් සංවර්ධනයේදී ගොඩනැගිලි 25ක් ලබා දුන් අතර අද වනවිට ඊටත් වඩා ඉදිරියට යමින් මුළු රටටම එකවර පාසල් ගොඩනැගිලි 1500ක් පිරිනැමීමට හැකිව ඇති බවත් පෙන්වා දුන්නා.  

මහවැලි ව්‍යාපෘතියටත් වඩා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්   මහවැලි ව්‍යාපෘතියටත් වඩා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට හඳුන්වා දෙන ලද්දේ ප්‍රථම වරට බවත්, මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 65000ක් ආයෝජනය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා .   

 

 වීදුලිය තිබුනේ 60%කට පමණයි.අද පාසල් 98%කට පමණ විදුලිය  

 

"2015 රජය බලයට පත් වන විට මෙරට පාසල් 10 000ක් අතරින් විදුලිය තිබුනේ 60%කට පමණයි.අද රටේ සමස්ත පාසල්වලින් පාසල් 98%කට පමණ විදුලිය තියෙනවා .

ඒ විතරක් නෙවෙයි රටේ මානව සම්පත සංවර්ධනය කරන්නත් අපි කටයුතු කළා " යනුවෙන් ද අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඉතිහාසගත උත්සව සභාව අමතමින් සඳහන් කර සිටියා.  

 

  පැය 24ක් තුළ මෙරට හෝ පිටරට සිටින ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා විභාග සහතිකපත්  

 

මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සියලු තාක්ෂණික පහසුකම් සමග නවීකරනය කර ඇති බවත් පැය 24ක් තුළ මෙරට හෝ පිටරට සිටින ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා විභාග සහතිකපත් ඇනවුම් කිරීමට පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යතුමන් සඳහන් කළා .   උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක - නව අධ්‍යාපන පනතක්   උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදෙන වැඩපිළිවෙල ඉදිරි මාස එකක් පමණ වන විට ක්‍රියාත්මක වීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යතුමන් සඳහන් කළා.   එමෙන්ම ඉදිරියේදී නව අධ්‍යාපන පනතක් හඳුන්වා ‍දෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කළා .

 

 .  

විද්‍යාපීඨ සංකල්පය රටට හඳුන්වා දුන් අගමැතිතුමන්ට කෘතවේදීත්වය

වත්මන් අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ විද්‍යාපීඨ සංකල්පය රටට හඳුන්වා දුන් අතර විද්‍යාපීඨ සංකල්පය රටට හඳුන්වා දුන් අගමැතිතුමන්ට සහ ඉටුකළ මෙහෙවර වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයේදී කෘතවේදීත්වය පල කරමින් විශේෂ සමරු ඵලකයක් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.

 

මේ අතර විද්‍යාපිඨ සඳහා ලැප්ටොප් පරිගණක පිරිනැමීම ද මෙහිදී සිදු වුණා.  

 

මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්. එම්.එන්. රණසිංහ, විභාග කොමසාරිස් ඩී. සනත් පූජිත යන මහත්ම මහත්මීහු ද, විද්‍යා පීඨාධිපතිවරු ද, දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහු ඇතුලූ විශාල පිරිසක් ද සහභාගි වී සිටියා.

ජාතික උත්සවයේ ඡායාරූප පහතින්

Search