නවතම පුවත්

ගෝලීය අධ්‍යාපන ඉලක්ක ජයගත හැකි පරිදි මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි  භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබා දී ඇති විෂය මාලාව වඩාත් ඵලදායී ව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස්කර පන්ති කාමරයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත. එම උපදෙස් සංග්‍රහය අනුව ඉදිරියේ දී සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට ද යෝජනා කර ඇත.

පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල  විසින් පාසල් පද්ධතිය තුළ සිදුකරනු ලැබූ සුපරීක්ෂණ ක්‍රියාවලියේ දී ඉංග්‍රීසි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ හඳුනාගත් සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර රැසක් නිරීක්ෂණයට ලක් වූ අතර, එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඊට අදාළ ප්‍රතිකාර්ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව මේ වනවිට පියවර ගෙන ඇත.

මීට අමතර ව, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමග එක් ව වඩාත් ඵලදායී ලෙස සිසුන් වැඩලෝකයට සූදානම් කළ හැකි පරිදි විෂය මාලා, පෙළ පොත්, සහ විභාග ක්‍රමවේදය සකස් කිරීමට ද යෝජනා කර ඇත.

මේ දක්වා පාසල් මට්ටමෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ සිසුන්ගේ ඉංග්‍රීසි කථන සහ ශ්‍රවන කුසලතා ඉගැන්වීම ඇගයීම සඳහා වැඩපිළිවෙළක් ද මේ වනවිට සියලු ම පළාත් වෙත හඳුන්වා දී තිබේ. ඒ අනුව, සියලු පළාත් ඉංග්‍රීසි සම්බන්ධීකාරකවරුන් සමග සාකච්ඡා කර පැමිණි එකඟතාවකට අනුව, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ශ්‍රවණ හා කථන ඇගයීම් නිර්ණායක සකස් කර සියලුම පළාත් වෙත මේ වනවිට ලබා දී ඇත.

ඒ අනුව, මේ වසරේ දෙවැනි පාසල් වාරයේ සිට දිවයිනේ සියලු පළාත්වල එම ඇගයීම් ක්‍රමය 6,7,8 ශ්‍රේණිවලට වාර පරීක්ෂණවල දී හඳුන්වා දී තිබේ.  ඉදිරියේ දී මෙම ඇගයීම් ක්‍රමය  11 ශ්‍රේණිය දක්වා පාසල් මට්ටමින් ඇගයීම් ලෙස ක්‍රියාත්මක කිරීමට ද  අපේක්ෂිත ය

පාසල්වල 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලු ම පාසල් සිසුන්ට ගණිත විෂය ප්‍රියතම විෂයක් බවට  පත් කිරීමට සහ  විෂය සාධන මට්ටම් වැඩිදියුණු කිරීමට  අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇත.

ගණිත සංකල්ප එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික අවස්ථා  සමඟ සම්බන්ධ කරමින් සිසුන්ට සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි  ක්‍රියාකාරකම් මගින් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ දී  සිදු කෙරේ.

මෙම ක්‍රියාකාරකම් මගින් සිසුන් තුළ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව, සන්නිවේදන හැකියාව, ක්‍රමවත් බව, තර්කානුකූල චින්තනය යනාදී කුසලතා වර්ධනය කෙරේ. මෙම වැඩසටහන ප්‍රාථමික ශ්‍රේණියත්, ද්විතීයික ශ්‍රේණියත් ආවරණය වන ලෙස අදියර තුනකින් යුක්තය. මෙයට අදාළ ව ඉගෙනුම් සම්පත් ද්‍රව්‍ය, ක්‍රියාකාරකම් පොත් සම්පාදනය කර ඇති අතර දැනටමත් පාසල් 150ක විදුහල්පතිවරු සහ අදාළ ගුරුභවතුන් දැනුවත් කර ඇත.

ගණිත විෂය සාධනය ඉහළ නැංවීම සඳහා ඉතාම කෙටිකාලයක් තුළ දී ගත් පියවර හේතුවෙන් 2015 දී අ.පො.ස.(සා.පෙළ) ගණිත විෂය සමත්වීමේ 55% ක් වූ ප්‍රතිශතය  2016 දී 63% ක් ද, 2017 දී 67% ක් සහ 2018 වන විට 68% ක් දක්වා වර්ධනය වී තිබේ. ගණිත විෂයයේ දක්නට ලැබෙන මෙම සාධනීය ප්‍රවණතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම මෙම විධිමත් වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ.

 

2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම අද (16) හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් ආරම්භ වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කර ඇති අතර පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතයි.

2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේහට 2020 වර්ෂය සඳහා නොමිලේ ලබාදෙන පෙළපොත් බෙදා හැරීම 2019 අගෝස්තු 16 වැනිදා සිකුරාදා නිල වශයෙන් ඇරඹේ.

 අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 10.30 ට හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පෙළ පොත් බෙදාහැරීමේ නිල උත්සවය පැවැත්වේ.

2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සමස්ත පාසල් දරුවන්ට 2020 වසර සඳහා පෙළ පොත් ලබාදීම හා ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

නොමිලේ පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165ක් වැය කරයි. පොත් වර්ග 448කින් පිටපත් මිලියන 43ක් සිසුන් අතට පත්කිරීමට නියමිතය.

පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූණ්වහන්සේ සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54ක් පිරිනැමේ. 1සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ගේ පෙළපොත් සහ 12 ශ්‍රේණියේ සාමාන්‍ය ඉංග්‍රීසි පෙළ පොත ද මේ පොත් වර්ග 448 අතරට අයත් ය.

සියලුම ජාතින පාසල් හා සිසුන් 1500ට වැඩි පළාත් පාසල් වෙත සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ සපයනු ලබයි. රට පුරා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා තෝරාගත් පාසල්වල ස්ථාපිත කරන බෙදාහැරීමේ මධ්‍යස්ථාන 1175 වෙතින් සෙසු සියලු  පාසල් සඳහා පෙළපොත් හා ගුරුමාර්ගෝපදේශ සංග්‍රහ සපයන බව අධ්‍යාපන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පවසයි.

ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි ශ්‍රම බලකායක් බිහි කර ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය (Alaina B. Teplitz)අතර සාකච්ඡාවක් අද (08) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

ඇමරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබා දෙමින් ඩෙලික් (DELIC) ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නැවතත් 2020 වසරේ සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බැවින්, ඒ සඳහා පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිතය.

මේ වනවිටත් විවිධ පළාත්වල පාසල් තෝරා ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මුලින් ම ඌව සහ මධ්‍යම පළාත් දෙක සඳහා මෙම ගුරුවරුන්ගේ සේවය ලබා දෙන අතර එක් ගුරුවරයෙකුගේ ස්වේච්ඡා සේවා කාළය වසර 2 කි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක එච්.එම්.සිරිසේන මහතා සහ ඇමරිකානු සාම බලකායේ ජාතික අධ්‍යක්ෂ ක්‍රිෂ් බෙෂ් (Kris Besch) මහතා ඇතුලු අමාත්‍යාංශයේ ඉංග්‍රීසි ඒකකයේ නිලධාරීන් ද ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් ද සහභාගි විය.




 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් - අසමත්භාවය නොසලකා සෑම සිසුවෙකුට ම වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් හිමිකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා තවත් ගුරුවරුන් පන්දහසක් අලුතින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී.

මෙම ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලද බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ට දැනුම් දී ඇත.

2020 වර්ෂය සඳහා නොමිලේ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක උත්සවයේ දී අමාත්‍යවරයා අද (2019-08-16) ඒ බව ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය ප්‍රවේශයක් සහිත නව අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර ගුරුවරුන් 1500ක් බඳවා ගන්නා ලද බවත් අමාත්‍යවරයා පැවසීය.

2017 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම උසස් පෙළ වෘත්තීය විෂයධාරාව යටතේ සිසුන්ට නවලොව රැකියා වෙළඳපොල ජයගත හැකි වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දී තිබේ.

ඔවුන්ගේ රැකියාගත පුහුණු කාලසීමාවේ දී දෛනිකව රුපියල් 500/- දීමනාවක් ගෙවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පාසල් නායකත්වය සඳහා විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දී ශ්‍රී ලංකාවේ විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව  III පන්තියේ සිට i පන්තිය දක්වා උසස්වීම් සඳහා අවශ්‍යතා සපුරා ගැනීමේ ධාරිතා සංවර්ධන පාඨමාලාව වශයෙන් විදුහල්පතිවරුන් වෙනුවෙන් මාසික සේවාස්ථ පුහුණු පාඨමාලාවක් දැන් පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මෙරට පාසල් පද්ධතියට පළමු වරට පාසල් නායකත්වය හා කළමනාකරණය සඳහා වූ ජාතික නිපුණතා රාමුවක් හඳුන්වා දී ඇත. ඒ අනුව විදුහල්පති සේවයේ  III පන්තියේ විදුහල්පතිවරුන් දහසක් (1,000) ක් මේ වර්ෂයේ දී පුහුණු කෙරේ.

ඇතැම් පාසල්වල සිදුවන මුල්‍ය වංචා, පරිපාලන ගැටලු, පාසලේ දී සිසුන් මුහුණ පාන හදිසි අනතුරු ඇතුලු වරින්වර නැඟෙන චෝදනා සම්බන්ධයෙන් තෝරාගත් විදුහල් දහයක සිදු කරන ලද ඇගයීම් වැඩසටහනේ දී මෙවැනි පුහුණුවක අවශ්‍යතාව අවධාරණය වී තිබේ. ඇගයීම පදනම් කර ගෙන අධ්‍යාපන ආංශික සංවර්ධන රාමු වැඩසටහන යටතේ රුපියල් මිලියන 41 ක් වැය කරමින් මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මකය.

ගුණාත්මක පාසල් පාලනය, ධනාත්මක පාසල් පරිපාලනය, සඵලදායී පාසල් කළමනාකරණය හා ගුණාත්මක ඉගෙනුම් ඵල යන නිපුණතා හතර පදනම් කර ගෙන නිපුණතා ප්‍රමිති හැට හතරක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී විශේෂඥ දැනුමක් විදුහල්පතිවරුන් ට ලබා දෙයි.

පළාත් නවයෙහි ම  III පන්තියේ විදුහල්පතින් 3,823 දෙනාට ම 2021 වර්ෂයට පෙර මෙම පුහුණු සහතික ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව පැවසීය.

 ශ්‍රී ලංකාවේ  පාසල් දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ඉහළ නැංවීමත්, ඔවුන් කියවීමට දිරිගැන්වීමත්  අරමුණු කරමින්, පාසල් පද්ධතිය වෙත හඳුන්වා දී ඇති කලණ මිතුරු පොත් සුමිතුරු - ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන මේ වනවිට පාසල් සිසුන් අතර ඉතා ප්‍රචලිත ව පවතින අතර, එහි පළමු අදියරේ සිසු ඇගයීම් කටයුතු ‍එළඹෙන සැප්තැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

තාක්ෂණය තුළින් නව ලොව දැනුම සොයා යන දරුවන් තුළ පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් සේ හඳුනා ගනිමින් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ  පාසල්, කලාප, පළාත් සහ ජාතික වශයෙන් ප්‍රධාන අදියර 4ක් යටතේ සිසුදරුවන්ගේ කියවීම් කුසලතා මැන බැලීමක් සිදුකෙරේ. දිවයිනේ සියලු ම පාසල්වල  6- 13 ශ්‍රේණිවල සිසුන්ට ‍ මෙම වැඩසටහන‍‍ට එක්වෙමින් පොත්පත් කියවීම වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව සලසා තිබේ.

කියවීමට වඩාත් සුදුසු ගුණාත්මක පොත් පත් හඳුනාගනිමින්, නිරන්තර කියවීම් පුරුදු  වැඩිදියුණු කරගනිමින්, ඒ හරහා දැනුම,අවබෝධය සහ රසවින්දනය වැඩිදියුණු කරගනිමින් පොත් පත් පරිශීලනය කිරීමේ කුසලතා සංවර්ධනය කරගැනීමට මෙම වැඩසටහන පැහැදිලි පිටුබලයක් සපයයි.  මේ සඳහා සහභාගී වන සියලු සිසුන්ට, තමන් විසින් කියවා රසවිඳින පොත් සම්බන්ධ ව සාහිත්‍යමය විචාර වාර්තාවක් සකස් කිරීමට ද පැවරෙයි. එම වාර්තා අතරින් විශිෂ්ටතම වාර්තා සම්පාදනය කරන සිසුන්ට වසරේ හොඳම පාසල් කියවන්නන් අතරට එක්ව ප්ලැටිනම්, රන් සහ රිදී පදක්කම් හිමි කරගැනීමට අවස්ථාව සැලසෙයි. ඒ අනුව මේ වසරේ   වැඩිම පොත් ප්‍රමාණයක් කියවමින් පදක්කම්  හිමිකරගැනීමට සූදානමින් සිටින සිසුන් සංඛ්‍යාව 3000කට ආසන්න ය.  පොත් 100ට වැඩියෙන් කියවා වාර්තා සම්පාදනය කර එවූ සිසුන්ට ප්ලැටිනම් පදක්කමත්, පොත් 75-100ත් අතර කියවූ සිසුන්ට රන් පදක්කමත්, පොත් 50-75ත් අතර කියවූ සිසුන්ට රිදී පදක්කමත් මේ අනුව ලබාදීමට නියමිත ය.

වැඩිම පොත් සංඛ්‍යාවක් කියවා ප්ලැටිනම් පදක්කම් ලබන සිසුන් අතරින් ජාතික මට්ටමින් හඳුනාගන්නා විශිෂ්ටත ම සිසුන් සියදෙනෙකුට, ඉදිරි මාස තුන ඇතුළත චීනයේ අධ්‍යයන සංචාරයක් සඳහා අවස්ථාව ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතී.

දිවයිනේ සියලු පාසල් පුස්තකාල සංවර්ධනය කර, දරුවන් කියවීමට නැඹුරු කරවීම ජාතික වගකීමක් සේ හඳුනාගනිමින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරන අතර, පාසල් දරුවන් දැනුම සහ අවබෝධය  සපිරි නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම වෙනුවෙන් කලණ මිතුරු පොත් සුමිතුරු කියවීම් ප්‍රවර්ධන වැඩසටහන නිසැකවම සැබෑ සමාජ උත්ප්‍රේරකයක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිටත් මෙරට පාසල් පුස්තකාල වෙත පොත් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 700ක මුදලක් ලබා දී ඇති අතර, එය පාසල් පුස්තකාල වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් ලබාදී ඇති වැඩිම මූල්‍ය ප්‍රතිපාදනය ද වෙයි. එමෙන් ම පාසල් දරුවන් සඳහා සුදුසු ප්‍රමිතියකින් යුත් ගුණාත්මක පොත් පමණක් පාසල් පුස්තකාල වෙත ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රථම වරට පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාමාවලියක් ද මේ වනවිට සම්පාදනය කර තිබේ.

වසරක් පාසා අඛණ්ඩ ව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සියලු විස්තර ඇතුළත් චක්‍රලේඛ සියලු පාසල් වෙත යොමුකර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගත හැකි ය.   

ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන් ට උපදෙස් ලබා දී ඇත.

ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇත.

එකම පාසලක අවුරුදු 10 ක් සේවය කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අයදුම්පත් 2,000 ක් පමණ සංඛ්‍යාවක් ද මෙම  ඉල්ලුම්පත් 6,000 ට ඇතුළත්ය.

ගුරු වෘත්තිය සමිති නියෝජනය කරන ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල පත් කොට මෙම මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, 2017 වසරේ දී ආරම්භ කළේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ තීරණය පරිදිය.  ඕනෑම ගුරුවරයෙකුට ජාතික පාසලක සේවය කිරීමේ අවස්ථාව සැලසීම සඳහා, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට වාර්ෂික ගුරු මාරු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා එම තීරණය ගනු ලැබීය. ගුරුවරුන් 12,000 කට එම වසරේ දී මාරුවීම් ලබා දී තිබේ. එම පදනමින් 2018 වසරේ දී ලබාදුන් මාරුවීම් සංඛ්‍යාව 5,000 ක් විය.

2017 වසරේ සිට 2020 වසර වනවිට එකම පාසලේ වසර 10 ක් සේවය කර තිබෙන ගුරුවරුන්ගෙන් ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව වාර්ෂිකව අවම වෙමින් පවතින බවත් ගුරුමාරු ඒකකය පෙන්වා දෙයි.

Search