නවතම පුවත්

"ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් මාස ගණනකට කලින් මම අදාළ නිලධාරීන් කැඳෙව්වා. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය, එහි ශාස්ත්‍රීය සභාවේ සභාපතිතුමා, ජීව විද්‍යා විෂය සකස් කිරීම සම්බන්ධ අය, විෂය නිර්දේශයට අදාළ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරු ඇතුලු සියලුම අය කැඳෙව්වා. කැඳවලා පැය 3 - 4 කට වැඩිය අපි මේ සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා. මගේ මාධ්‍ය ඒකකයේ අයත් කැඳෙව්වා මේ සම්බන්ධව පිළිතුරු දෙන්න කියලා. ඒ සාකච්ඡාවේ දී පැහැදිලි වුණා මාධ්‍යයේ සහ ඔබතුමන්ලා කියන දේ ඇත්ත නොවන බව. යථාර්ථය ඒක නෙවෙයි. ඇත්ත වශයෙන් ම එම ගැටලුව එදාම විසඳීමට අවශ්‍ය පියවර ගත්තා."

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා එසේ ප්‍රකාශ කළේ, ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පවතින බව සඳහන් කරමින් අද (06) පාර්ලිමේන්තුවේ දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් නඟන ලද වාචික අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, ජීව විද්‍යා විෂය නිර්දේශය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ පමණින් ගැටලුවක් තිබේ යැයි අදහස් කළ නොහැකි අතර විශේෂයෙන් ම අධ්‍යාපනය නවීකරණය වනවිට විෂය නිර්දේශය වෙනස් බවයි.

2015 බලයට පැමිණෙන විට විෂය නිර්දේශ සැකසීමට යම් යම් ගුරුකුල හදාගෙන සිටි බවත්, ඇතැමුන් විෂය නිර්දේශ යාවත්කාලීන නොකර ටියුෂන් පංතියට අවශ්‍ය ලෙස සැකසූ බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

"ප්‍රශ්න පත්‍ර 5 ක් විතර ගත්තාම අපි දන්නවා එන ප්‍රශ්න මොනවාද කියලා. දැන් මේවා ඔක්කොම වෙනස් කර ගෙන යන්නේ. එතකොට මේ විෂය සම්බන්ධයෙන් නෙවෙයි, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ආවා. එතකොට එක මහාචාර්යවරයෙක් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ප්‍රශ්න පත්‍ර හදද්දී තව කණ්ඩායමක් කියනවා ඒක නෙවෙයි අරකයි එන්න ඕනේ කියලා. ඒ වගේ විවිධ මත සහ විවිධ දේවල් තියෙනවා.” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, දැන් ඒ ආකාරයට විෂය නිර්දේශ සකස් නොකර විෂය නිර්දේශ වෙනස් කිරිමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

වෙනස්කම් කරනවිට ඒ වෙනස්කම් කරගෙන යායුතු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඇතැම් ගුරුවරු නවීකරණයට අකමැති බවත් සඳහන් කරමින් "ඉක්මනින් දැනුම වෙනස් වෙනවා. ඇත්තටම 1900 වෙද්දී දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න අවුරුදු 100 ක් ගත වුනත් 1945 දෙවන ලෝක යුද්ධය වෙද්දී දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න ගත වුණේ අවුරුදු 25 යි. අද මේ තාක්ෂණයත් එක්ක නවීන ලෝකයට යනකොට දැනුම දෙගුණයක් වෙන්න ගත වන්නේ මාස 13 යි" යනුවෙන් ප්‍රකාශ කරමින් තමන් විශ්වවිද්‍යාලයට යන කාලයේ පැරණ සටහන් ඉගැන්වූ ආකාරය සිහිපත් කරමින් ජීව විද්‍යාව විෂයේ සිට සියලුම විෂයයන් වෙනස් වියයුතු බව සඳහන් කළා.

එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා බවත්, ඔහු එලෙස පත්කළේ අලුතින් හිතන, කවුරුත් පිළිගන්න, අපි බලාපොරොත්තුවන ආකාරයට අධ්‍යාපනයේ වෙනස්කම් කරන්න පුළුවන් කෙනෙක් නිසාවෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කර ඇති අතර ටියුෂන් වලට ඕනෑ ආකාරයට හෝ ගුරුවරුන් ට ඉගැන්වීමේ පහසුව වෙනුවෙන් විෂය නිර්දේශ සැකසීම නොකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

"ගුරුවරුන් හිතනවා අපි හැමදාම උගන්නපු එක ලේසියි. ඒක නිසා අපිට මේක ගැටලු සහගතයි. ඒක නිසා අපි පරණ එකම දාන්න ඕනේ කියලා. දින වකවානු එක්ක අපි දීලා තියෙනවා. කවද්ද අපි මාර්ගෝපදේශනය දුන්නේ, කවද්ද බෙදාහැරියේ, කවද්ද ඒවා පුහුණු කළේ කියලා. " යනුවෙන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීමෙන් 2017 වසරේ සිට ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ  උසස්‍ පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට සිය රැකියාගත  වෘත්තීය පුහුණුව ලබාදිමට  රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික පුහුණු ආයතන රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ ව සිටියි.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ද මෙම වැඩසටහන යටතේ උසස් පෙළ හදාරන සිසුන් වෙත NVQ 04 මට්ටමේ වෘත්තීය  පුහුණුව ලබාදීමට එකඟතාවය පළකර ඇති අතර ඊට අදාළ සහයෝගීතාව තහවුරු කිරීමේ අවබෝධතා ගිවිසුම පසුගිය දා (2019-08-01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති දිලිප් ද සිල්වා මහතා විසින් අත්සන් කෙරිණි.

ඉදිරියේ දී ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය ද වෘත්තීය  පුහුණුව ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි.

මේ වනවිට එම ආයතන තුළ 2018 වසරේ වෘත්තීය විෂයධාරාව පුහුණුවට එක්වූවන්ට රැකියාගත පුහුණුව ලබාදෙමින් පවතියි.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් 1347 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

කුලියාපිටිය නගර ශාලාවේදී පැවති පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

 

පාසල් පද්ධතිය සක්‍රීය ව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගිනි. එහෙත් තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මේ වනවිට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වඩාත් නිවැරදි සහ යාවත්කාලීන දත්ත ඇසුරෙන් ජාතික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීමට හැකි  අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට මේ වනවිට ක‍ටයුතු යොදා තිබේ. මෙමඟින් රජයේ පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා උපකෘත පාසල්වල සේවය කරන සියලු ම ගුරුවරුන් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, ඔවුන්ගේ සේවා තෘප්තිය ඉහළ නැංවීම සඳහා වන විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමටත් අපේක්ෂා කෙරේ.

මෙරට පාසල් පද්ධතිය තුළ දැනට සිටින ගුරුවරුන් සංඛ්‍යාව, ගුරුවරයෙකුගේ මුල් පත්වීමේ සිට සේවය කරන ලද සියලුම ස්ථාන ඇතුළත් සේවා තොරතුරු, වර්තමානයේ  සේවය කරන පාසල, පත්වීමේ ස්වභාවය, උසස්වීම්, පන්තිය හා ශ්‍රේණිය, පත්වීම ලබා ඇති විෂය සහ දැනට පාසලේ උගන්වන විෂය, ඇතුළු සියලු තොරතුරු, මේ හරහා Online ක්‍රමයට ලබාගැනීමේ හැකියාව සැලසෙයි. ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුවේ සියලු තොරතුරු මෙසේ Online ක්‍රමයට ලබාගැනීමට හැකිවීම තුළින් ගුරුවරුන් විශ්‍රාම යාමේ දී මෙතෙක් පැවැති ගැටලු විසඳීමට අවස්ථාව සැලසේ. මෙම තොරතුරු පද්ධතිය නිසා කලාප, පළාත් සහ ජාතික මට්ටමින් කඩිනමින් තීන්දු තීරණ ගැනීම සඳහා අදාළ නිලධාරීන් ට හැකියාව ලැබේ.

ඒ අනුව ගුරු හිඟය පවත්නා පාසල්, ගුරු අතිරික්තයක් පවත්නා පාසල්, විෂය අනුව ගුරුභවතුන් පත්ව නොමැති අවස්ථා ඇතුළු සියල්ල පහසුවෙන් නිරීක්ෂණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා වඩාත් ඉක්මණින් යොමුවීමේ ඉඩප්‍රස්ථා මේ අනුව සැලසෙයි.

මේ වනවිටත් Online ක්‍රමයට තොරතුරු ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දිවයිනේ සියලු කලාප අධ්‍යාපන කාර්යාලවල විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීම අවසන් කර ඇත. තව ද, 2019-06-07 දිනැති අංක 30/2019 චක්‍රලේඛය මගින් මෙම තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධ උපදෙස් ද මේ වනවිටත් සියලු පළාත්, කලාප හා පාසල් බලධාරීන් වෙත  ලබා දී ඇති අතර, ශ්‍රි ලංකා ගුරු සේවයට හා ගුරු සහායක සේවයට අයත් මෙරට සිටින 247,000ක් වන සියලු ගුරුවරුන්ගේ වෘත්තීය වපසරියට අයත් සියලු ‍තොරතුරු මෙම කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද  අවසන් කර ඇත.

සෑම ගුරුභවතෙකු විසින් ම මසකට වරක්වත් තමාට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දී ඇති පරිශීලක ගිණුම භාවිත කර තම තොරතුරු නිවැරදිව ඇතුළත්ව තිබේ ද යන්න පරීක්ෂා කර බැලිය යුතු බවත්, තොරතුරු නිවැරදි නොවන අවස්ථාවක් පවතී නම් වහාම ඒ පිළිබඳ විදුහල්පති මගින් කලාප අධ්‍යක්ෂ දැනුවත් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

සමස්ත පාසල් සිසුන්ගේ තොරතුරු ද මේ වනවිට මෙම තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කරමින් පවතින අතර, ඒ අනුව රටේ ඕනෑම පාසලක සිටින සිසු දරුවෙකු සම්බන්ධ තොරතුරු ද  Online ක්‍රමයට පරීක්ෂා කිරීමේ හැකියාව ද ඉදිරියේ දී සැලසෙනු ඇත. එමෙන්ම පාසල් පද්ධතිය පිළිබඳව පර්යේෂණ කාර්යයයේ නිරතවන්නන්ට ඕනෑම සංඛ්‍යා ලේඛනයක් ක්ෂණයකින් නිවැරදිව ලබා ගැනීමේ අවස්ථාව මෙමඟින් උදාවේ. මෙම ‍තොරතුරු පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ ජනගතකිරීම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණයක් අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද පසුගිය දා ඩිජිටල්කරණයට ලක්කෙරුණු අතර, ඒ අනුව, ලොව කොතැනක සිටියත් ඕනෑම අයදුම්කරුවෙකුට තම විභාග සහතික පත් Online ක්‍රමයට ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ද  මේ වනවිටත් සලසා දී තිබේ.

පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීමත්, මනා පෞරුෂයකින් යුත් සමාජයානුයෝගී පරපුරක් පාසල් පද්ධතියෙන් බිහිකිරීමත් අරමුණු කරගනිමින්, පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතිය වෙත බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ පසුගිය දා පියවර ගැණිනි.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් විවිධ ක්‍රීඩා ඉසව් තුළින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයින් 3388 දෙනෙකු  ක්‍රීඩා පුහුණුකරුවන් ‍ ලෙස අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගනු ලැබූ අතර, ඔවුන් අදියර දෙකක් යටතේ සේවාරම්භක පුහුණුවකට යොමු කරන ලදී. ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයේ දී අධ්‍යාපන පද්ධතිය වෙත අලුතින් බඳවාගත් එම පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් පළමු අදියරේ දී පුහුණුව අවසන් කළ 3365 දෙනෙක් පාසල් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ස්ථානගත කිරීම 2019-07-29 දින සිදුකෙරිණි.

මෙම ක්‍රීඩා පුහුණුකරුවන් ස්ථානගත කිරීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 500ට වැඩි පාසල් සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් හා භාෂා මාධ්‍යය කෙරෙහි සැලකිලිමත් වෙමින් අදාළ පාසල් ලබාදීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙත දැනුම් දී තිබේ.

මෙම ස්ථානගතකිරීම්වල දී ක්‍රීඩා පුහුණුකරුවෙකුට කිසියම් ගැටළුවක් මතුව ඇත්නම්, ඔවුන්ගේ අභියාචනා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීමට ද අවස්ථාව සලසා ඇති අතර, මී ළඟ පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම අභියාචනා සලකා බැලීමට ද කටයුතු කරනු ඇත.

අගෝස්තු 5 වන දා ගොඩනගන නව දේශපාලන බලවේගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත කළ ප්‍රකාශය

 

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු   2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රථීඵල  මත 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දීම‍‍ට අධ‍‍්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙවර පත්වීම් ලබන පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ජාතික පාසල්වල  ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා යොදා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම පත්වීම් පිරිනැමීම සඳහා පළාත් නවයේම ජාතික පාසල්වල  සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වාර්තා ලබා ගෙන ඇත. එම වාර්තා අනුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3,748කි.මෙම පුරප්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉතිරිය පළාත් පාසල්වලට පත් කිරීම සඳහා පළාත් සභා වෙත යොමු කිරීමට නියමිතය.

 

 සෑම පළාතක් ම නියෝජනය වන පරිදි තෝරා ගෙන ඇති පිරිවෙන් 120 ක ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් මේ වසර අවසානයට පෙර නිම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රජයේ පාසල් අධ්‍යාපනයට සමානව පිරිවෙන් අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට අවශ්‍ය සියලු පහසුකම් හිමිකර දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය නීතිඳ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලැබූ තීරණය අනුව මෙම කටයුතු සිදු කෙරෙන්නේ පිරිවෙන් අධ්‍යාපන ඉතිහාසයේ ප්‍රථම වරට බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර මහතා සඳහන් කරයි.

සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යාපන ගොඩනැගිලි ඉංජිනේරු සහ ගොඩනැගිලි අධ්‍යක්ෂවරුන් ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද  (01) පැවැති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ වැඩපිළිවෙළ යටතේ පිරිවෙන් 50 ක කාර්යාල ගොඩනැගිලි, නේවාසිකාගාර හා අත්‍යවශ්‍ය නඩත්තු සහ ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන බවත්, ඒ සඳහා එක් ආයතනයකට රුපියල් ලක්ෂ 60 ඉක්මවන මුදලක් වෙන් කර ඇති අතර තෝරාගත් තවත් පිරිවෙන් 70 ක අංගසම්පූර්ණ සනීපාරක්ෂක පද්ධති ඉදිකිරීමේ කටයුතු ලබන ඔක්තෝබර් මාසයට පෙර අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මේ සඳහා එක් පද්ධතියකට රුපියල් ලක්ෂ 12 ක මුදලක් වෙන් කර තිබේ.

රටේ අධ්‍යාපන  පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වත් පාර්ශ්වය විසින් ලබාදෙන යෝජනා බෙහෙවින් වැදගත් වන බවත්, රටේ අනාගත පරපුර අධ්‍යාපනය තුළින් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන, වෙනස් ව සිතන, බොහෝ දෙනෙක් සිටින බවත්, එම අදහස්, යෝජනා තමන් වෙත  හැකි ඉක්මණින් ලබාදෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සියලු විද්වතුන් වෙත ඇරයුම් කර සිටියි.

අමාත්‍යවරයා මේ ආරාධනය සිදු කළේ, අද (30) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පවත්වන ලද  බුත්සරණ කෘතිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සිය ප්‍රමුඛ කාර්යයක් ලෙස ක්‍රියාවට නංවනු ලබන සාහිත්‍යමය වටිනාකමින් යුත් පැරණි සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ  ව්‍යාපෘතිය  යටතේ ‍ මෙම කෘතිය එළිදැක්වීමට ද කටයුතු කර තිබේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ,

මේ කටයුත්ත අනාගතයට පැරණි වටිනා ග්‍රන්ථ දායාද කිරීමක් ලෙසයි අපි දකින්නෙ. මහා වංශය, ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක් ම මේ ආයතනය විසින් සංස්කරණය කරල පැවරුවා. මම නම් බලාපොරොත්තු වෙන්නෙ මෙතැනින් නවතින්න හොඳ නෑ. තවත් කොතෙකුත් ඇති මෙවැනි කෘති. සිංහල කෘති දෙමළ භාෂාවටත් දෙමළ කෘති සිංහල භාෂාවටත්, පරිවර්තනය කරමු කියල මම අපේ පුස්තකාල මණ්ඩලේ සභාපතිතුමාට කිව්වා. සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කරනවා නම් කවර ග්‍රන්ථ ද කොපමණ තියෙනව ද මුල්‍යමය වශයෙන් කොපමණ යනවද ආදී වශයෙන් තොරතුරු මට ඉක්මණින් ලබාදෙන්න. මුද්‍රණ සංස්ථාව අපේ යටතේ තියෙන නිසා මුද්‍රණ පිරිවැය පමණක් දරලා අපට ඒක කරගන්න හැකිවේවි. තවත් මෙවැනි ‍කළ යුතු දේ කියන්න. ඉක්මණින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”

 පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට මේ වනවිට අදාළ පියවර ගෙන ඇති බව ද ,රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් ලෙස සලකා, වැයවන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුකරන්නට නොපැකිළී ඉදිරිපත්වන බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය. පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරමින් කියවීමට දිරිගැන්වීම වෙනුවෙන් කළන මිතුරු-පොත් සුමිතුරු නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් පාසල් දරුවන් වෙත හඳුන්වා දුන් බව ද, මේ වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ‍පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීම සඳහා ලබාදුන් බව ද, වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඒ අනුව ඇගයීමට ලක් කරන බවද, ඒ අතරින් විශිෂ්ටයින් 100ක් තෝරාගෙන ඔවුන්ට චීන අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසා දීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම කටයුත්තට දායක වූ සියලු දෙනාට සිය ස්තුතිය ද පළ කළ අමාත්‍යවරයා, විශේෂයෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයට ද මෙම ක්‍රියාවලිය තුළ වැදගත් කාර්යභාරයක් පැවරෙන බවත්, පාසල් විෂය මාලා සම්පාදන කටයුතුවල දී කළ යුතු වෙනස් කම් සිදුකිරීමට හැකිතරම් රටේ විවිධ ක්ෂේත්‍රවල සිටින විද්වතුන් සම්බන්ධ කරගන්නා ලෙසත්, වැඩිපුර කල් නොදමා, අලුතින් සිතා අවශ්‍ය කටයුතු ක්‍රියාවට නංවන ලෙසත් අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ. බී දිසානායක, විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක්, මේ අවස්ථාවට එක්වූහ.

Post settings Labels Schedule Permalink Location Options

ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 ගුරුවරුන්ගෙන් ඉටුවන හා ඉටුකරන ජාතික සේවාව පූර්ණ සැලකිල්ලට ගෙන ඉතා සාධාරණ ස්වාධින හා විනිවිද පෙනෙන ගුරුමාරු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශවලට ලබා දුන් උපදෙස් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේ

රාජ්‍ය සේවයේ සෙසු මාරුවීම් ප්‍රඥප්ති හා ගැලපෙන පරිදි ගුරු මාරු ප්‍රඥප්තිය ද සකස්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අවධානයට යොමු වී තිබුණු අතර රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටි හා රීතින්ට අනුව ගුරුමාරු ප්‍රඥප්තිය ද සකස් විය යුතු බවට කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධන සිදුකිරීමට අමාත්‍යාංශය ක්‍රියා කරයි.

මේ සංශෝධන සිදු කිරීමේ දී ගුරු වෘත්තීය සමිති සමඟ ද සාකාච්ඡාකොට ඔවුන්ගේ අදහස් හා යෝජනා ද අවධානයට ගෙන ඇත.

–  අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම්

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නට හැකිවීම ගැන සතුටට පත්වන බවත්, උපාධිධාරීන්ට රැකියා ලබාදීමට  1980 දශකයේ පටන් ම අගමැතිතුමා කටයුතු කළ බවත් අධ්‍යාපන අමාත්‍ය,  නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන උපාධිධාරීන් 16,800කට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ  අලුතින් රාජ්‍ය සේවයට බඳවාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1,347ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් කුලියාපිටිය නගර සභා ශාලාවේ අද (31) පැවති උත්සවයට එක්වෙමිනි.

 මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ විශේෂයෙන් ම 2012 සිට 2016 අවසානය දක්වා අභ්‍යන්තර උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ තමයි මේක වෙන්නෙ. තව පියවර කීපයක් ඉදිරියෙදි සිදුවෙනවා. බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළත් දැන් අපි සැලසුම් කරගෙන යනවා. ඒත් එක්කම  2016 දෙසැම්බර් සිට 2019 දක්වා වූ උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළත් ඉතා ඉක්මණින් කරගෙන යනවා. 2001 අපි හදපු ආණ්ඩුවෙ උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළ භාරව හිටියෙ මම. තරුණ අරුණ ආයතනයෙ අධ්‍යක්ෂවරයෙක් වශයෙනුත් මම ඒ කාලෙ හිටියා. අපි හැදුවා උපා‍ධිධාරීන් 50,000කට රැකියා දීමේ වැඩපිළිවෙළක්. ඒ යටතේ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවො අරගෙන. පන්ති සාමාර්ථය අනුව, ශ්‍රේණි අනුව, කරපු එක් එක් විෂයන් අනුව, බාහිර උපාධිධාරින් අනුව පිළිගත් නිශ්චිත ක්‍රමවේදයක් අනුව ඒ බඳවාගැනීම් සිදුකරන්න තියෙද්දි තමයි ආණ්ඩුව විසිරුණේ. අන්තිමට ආපු ආණ්ඩුව ඔක්කොම ටික එකට අරගෙන පත්වීම් දුන්නා. මම නම් දකින්නෙ ඒක අවිධිමත් ක්‍රමවේදයක් විදියට.. අපි මෙවර තීරණය කළා 75%ක් අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නත් ඉන්පස්සෙ සියයට 25ක් බාහිර උපාධිධාරීන්ට ලබාදෙන්නත්. මෙවර අපි බඳවාගන්නා උපාධිධාරීන්ගෙන් 5000ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳවාගන්නවා”  යයි ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ අද වනවිට ලක්ෂ 15ක් 16ක් සේවකයින් කටයුතු කරන බවත්,  රුපියල් දාහක් දෙදාහක් වැනි මුදලකින් වැටුප වැඩිකරගන්නට ඇතැමුන් උද්ඝෝෂණ කළ ද,  වත්මන් රජය  රුපියල් 10000කින් එකවර රාජ්‍ය සේවක වැටුප වැඩි කළ බව ද. මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “අපි සුරක්ෂා රක්ෂණය මගින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබාදුන්නා. මෙපමණ කාලයක් මෙහෙණින් වහන්සේලාට හරියාකාර අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නෑ. අපි ඒ අයට පිරිවෙන් අධ්‍යාපනයට අවස්ථාව හදල දුන්නා. දැන් අපි ජාතික පාසල්වල උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා. අපි මේ  ලබාදෙන්නෙ ඩිජිටල් ගුරුවරයෙක්. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි ස්තුති වෙන්න ඕනෑ.. අපි කැබිනට් පත්‍රිකා 11ක් ගහලයි මේ වැඩේ අනුමත කරගත්තෙ. සාමාන්‍ය පෙළින් අසමත් වෙන දරුවන්ට පහුගිය කාලෙ අනාගතයක් තිබුණෙ නෑ. අපි 13 වසරක අධ්‍යාපන ක්‍රමය හඳුන්වල දුන්නා. ඔවුන්ට දැන් වෘත්තීය විෂයයන් හදාරන්න පුළුවන් උසස් පෙළට.  පාසල් දෙදාස්ගානක මේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මකයි. ” යැයි ද පැවසීය.

ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය ජේ සී අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, කුලියාපිටිය නගරසභාවේ නගරාධිපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

 

Search