නවතම පුවත්

අමරපුර මහ සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඥාණීස්සර මහ නාහිමියෝ අපවත් වුහ. ඥානිස්සර හිමියන් අපවත්වන විට 102 වන වියේ පසුවූනා.

විභාගයෙන් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීම නිසා ජීවිතය හානි කරගන්නවාට වඩා සිසු දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග රැසක් විවෘතව පවතින බවත් ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (29) සවස අපේ ගම පරිශ්‍රයේ දී පැවති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන සංචාරයක නිරත වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එම අධ්‍යාපන සංචාරයේ ලද අත්දැකීම් අමාත්‍යවරයා හමුවේ හුවමාරු කරගැනීමට සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල වෙත ගෙවිය යුතු මුදලක් නොගෙවීම පදනම් කරගනිමින් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අදාළ සිසුන්හට වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයා වෙත නියෝග කළා.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සියලු ම පාඨමාලා අලුතින් යාවත්කාලීන කරන්නට ඉදිරියේ දී පියවර ගන්නා බවත්, කවර ක්ෂේත්‍රයක වුව ද, පෙරලිකාර වෙනස්වීම් සිදුකිරීම අභියෝගයක් වන නමුත් රටේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් එම අභියෝග ජයගන්නට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ආසියානු පැසිපික් ළමා සමුළුවේ දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවට පැමිණි ජපන් සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත පිරිස තම සංචාරය නිමා කොට ආපසු පිටත්ව යාමේ උත්සවය ඊයේ (31) සවස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. අමාත්‍යවරයා ජපානයේ දී ලද අත්දැකීම් පැමිණී සිටි සිසු සිසුවියන් සමග හුවමාරු කරගත් අතර ජපන් අධ්‍යාපන ක්‍රමය අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වුණා. විශේෂයෙන් නවීන තාක්ෂණය හා නව දැනුම භාවිතා කිරීම මෙන්ම මනා පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියකු බිහිකිරීමටත් ජපන් අධ්‍යාපන පද්ධතියට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහි දී සදහන් කළා.

2016 අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි ඔබට එහි ප‍්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට හැකිවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම ද සතුටට පත්වෙමි. ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම හරහා ඔබේ ජීවිතය තුළ වැදගත් තීරණ රැසක් ගැනීමට ඇති කාලය අපතේ යන බව ද අප හොඳින් නිරීක්ෂණය කළ අතර, හැකි ඉක්මනින් ප‍්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත‍්‍රණය සැකසීමට අප පියවර ගත්තේ ද එබැවිනි. ඒ අනුව මෙම කටයුත්තට දායක වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයටත්, පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ වු සියලු නිලධාරින්ටත් කෘතවේදීත්වය පිරිනැමීමට ද මා මෙය අවස්ථාවක් කර ගනිමි.

සැබෑ දේශප්‍රේමීන් හා ව්‍යාජ දේශප්‍රේමීන් පිළිබඳව ඉන්දීය නිදහස් සටනේ සිදුවීමක් මතක් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (03) සවස කිරිබත්ගොඩ නගරයේ පැවති ජන හමුවක දී අදහස් ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් අතරතුර පැවති මෙම ජනහමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රටක සංවර්ධනය කරා යන ගමනේ දී කාන්තා නියෝජනය අතිශයින් වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ලෝක ජනගහනයෙන් අඩක් කාන්තාවන් වන නමුත් ඔවුන් වෙනුවෙන් ප්‍රතිපත්ති තීරණ ගන්නා පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නියෝජනය පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත්, ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වූ, එමෙන්ම රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය බිහි වූ ශ්‍රී ලංකාවේ එය 5.8% ක් බවත් මෙම සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරන අමාත්‍යවරයා, ඉදිරි පළාත්පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය 30% කට වඩා වැඩි කිරීමට රජය මේ වනවිට සැලසුම් කර ඇතිබව ද පවසනවා.

නිරන්තර වෘත්තීය සංවර්ධනය සෑම ගුරුවරයකුටම අනිවාර්ය බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) උදේ මීපේ පිහිටි දකුණු ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ සමාරම්භක කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින්. මෙම රැස්වීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියාතික ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේ දී දේශිය ගුරුවරුන්ට අමතරව දකුණු ආසියාවේ ගුරුවරුන් පුහුණු කිරීමට ද මෙම මධ්‍යස්ථානය හරහා කටයුතු කිරීමට හැකි බවයි.

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවය ලෙස එම ක්‍රීඩා උළෙලෙහි 4 වන ශ්‍රේණියේ තරඟාවලිය අද ( 25) දින මීගමුව මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රිඩාගාරයේදී පැවැත්වුනා. ඒ ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

Search